අනුරාධපුර අභයගිරි මහා විහාරය

අනුරාධපුර අභයගිරි මහා විහාරය යනු අතීත ශ්‍රී ලංකාවේ පැවති ප්‍රධානතම ආගමික මධ්‍යස්ථානයක් මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයීය ස්වරූපයක් ගත් උසස් අධ්‍යාපන පීඨයක් වන අතර ක්‍රිස්තු පූර්ව පළමු වන සියවසේදී වළගම්බා රජතුමන් විසින් කරවන ලද මෙම විද්‍යාස්ථානය ත්‍රිපිටක ධර්මයට අමතරව මහායාන හා වජ්‍රයාන බුදුදහම, තාරකා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ විවිධ භාෂා පිළිබඳව අධ්‍යයනය කළ ප්‍රමුඛ ස්ථානයක් වූ බැවින් චීනය, ඉන්දියාව සහ ගිනිකොනදිග ආසියාතික රටවල් රැසකින් විදේශීය යතිවරයන් වහන්සේලා සහ විද්වතුන් අධ්‍යාපනය උදෙසා මෙහි නිරන්තරයෙන් පැමිණියහ.

මෙම ජාත්‍යන්තර සබඳතාව මනාව තහවුරු කරන ප්‍රධානතම සාක්ෂිය හමුවන්නේ ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා හි පිහිටි රටු බෝකෝ පුරාවිද්‍යා භූමියෙන් වන අතර ක්‍රිස්තු වර්ෂ 792 ට අයත් ශෛලෙන්ද්‍ර සමරවිජයොත්තුංග රජුගේ කාලයට අදාළ මෙම අභයගිරි සෙල්ලිපියේ, බුදුන් වහන්සේගේ විනය වදන්වලින් ශික්ෂිත වූ සිංහල භික්ෂුන්ගේ අභයගිරි විහාරය යන අර්ථය දෙන “ජිනවර විනයොක්තෛ: ශික්ෂිතානං යතීනං – අභයගිරි විහාර: කාරිත: සිංහලා නාම්” යන්න සෘජුවම සඳහන් කර ඇති බැවින් අනුරාධපුර අභයගිරියෙන් වැඩම කළ සිංහල භික්ෂූන් වහන්සේලා උදෙසාම විශේෂයෙන් ආරාමයක් එහි ඉදි කර තිබූ බව අනාවරණය වේ. මෙලෙස අතීත හෙළ යතිවරයන්ගේ ධර්මප්‍රචාරක සහ ශාස්ත්‍රීය මෙහෙවර මුහුදු සීමා අභිබවා ගිය ආකාරය පැහැදිලි වන අතරම ගෘහ නිර්මාණ ශිල්පීය සහ පුරාවිද්‍යාත්මක පාර්ශ්වයෙන් බලන කල ද රටු බෝකෝ පරිශ්‍රයෙන් හමුවන ගොඩනැගිලිවල පදනම් සහ සැලසුම් අනුරාධපුර අභයගිරි විහාර සංකීර්ණයේ දක්නට ලැබෙන පංචාවාස සහ සංඝාරාම සැලසුම්වලට සමානකමක් දක්වන බැවින් එකල සමුද්‍රීය වෙළඳ මාර්ග සහ නාවික තාක්ෂණය අතිශයින් දියුණු මට්ටමක පවතිමින් ශ්‍රී ලංකාව ගිනිකොනදිග ආසියාව සහ චීනය යා කරන ප්‍රධාන නාවික මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිංහල භික්ෂූන් වහන්සේලාගේ අදහස්, මහායාන බෞද්ධ සංකල්ප සහ නිර්මාණ ශිල්පය ජාවා දූපත දක්වා ව්‍යාප්ත වූ බවත්, අතීත ශ්‍රී ලාංකිකයන් යනු හුදෙක් මෙම දිවයිනට පමණක් සීමා නොවී මුළු මහත් ආසියානු කලාපයේම ආගමික හා සංස්කෘතික ප්‍රවාහයට ප්‍රබල බලපෑමක් එල්ල කළ පිරිසක් බවත් මනාව සනාථ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *