ඉදිරි සති දෙක තුළ කොළඹ ඇළ මාර්ග සහ කාණු පද්ධති කඩිනමින් සුද්ධ පවිත්‍ර කිරීමට පියවර

සුවිශේෂී තත්ත්වයක් සේ සලකා ඉදිරි සති දෙක තුළ කොළඹ ඇළ මාර්ග සහ කාණු පද්ධති කඩිනමින් සුද්ධ පවිත්‍ර කරන්න

– අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් නිලධාරීන්ට උපදෙස්

ඉදිරි කාලය තුළ වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින්, වැසි ජලය බැසයාම විධිමත් කිරීම සඳහා කඩිනමින් ඇළ මාර්ග සහ කාණු පද්ධති සුද්ධ පවිත්‍ර කළ යුතු බවත්, ඉදිරි සති දෙක ඇතුළත එම පවිත්‍ර කිරීමේ කටයුතු අවසන් කර ඉදිරියටද අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් අද (13) නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

මෙහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කානු පද්ධති සහ ඇළමාර්ග පවිත්‍ර කිරීමේදී පවතින ගැටලු ඉදිරිපත් කළ අතර, තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය මෙන්ම සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කිරීම සම්බන්ධයෙන් මුහුණ පා ඇති අභියෝග පිළිබඳවද නිලධාරීහු කරුණු පැහැදිලි කළහ.

කොළඹ දිස්ත්‍රික්කයේ 2026 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් ද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අවධානය මෙහිදී යොමු කෙරිණි. ඒ යටතේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ප්‍රජා සවිබල ගැන්වීම, ආපදා කළමනාකරණය සහ ක්‍රීඩා සංස්කෘතියක් බිහිකිරීම යන ප්‍රධාන අංශ යටතේ ව්‍යාපෘති පිලිබඳ නිලධාරීන් මෙහිදී පැහැදිළි ක⁣ළේය.

ඒ අනුව 2026 ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන අදියර තුනකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහි පළමු අදියර යටතේ කොළඹ, තිඹිරිගස්යාය, කෝට්ටේ, හෝමාගම, පාදුක්ක සහ කැස්බෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද, දෙවන අදියර යටතේ කැස්බෑව, මහරගම, දෙහිවල, රත්මලාන, මොරටුව සහ කොලොන්නාව යන ප්‍රදේශවලද මාර්ග සංවර්ධන කටයුතු සිදු කෙරේ. මේ අතර, 2025 වර්ෂයේ වැඩසටහන යටතේ තිඹිරිගස්යාය, කොලොන්නාව සහ සීතාවක ප්‍රදේශවල ආරම්භ කරන ලද ව්‍යාපෘති කිහිපයක් දැනටමත් සම්පූර්ණයෙන්ම නිම කර ඇති බවත්,
දිළිඳු බව තුරන් කිරීමේ “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන යටතේ 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 1,117.53 ක මුදලක් වෙන් කර ඇති බවත් නිලධාරීන් පෙන්වා දුන්නේය. මෙයින් රුපියල් මිලියන 1,108.00 ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 ක් සඳහා වෙන් කර ඇති අතර, ඉතිරි මුදල විශේෂ ව්‍යාපෘති සඳහා වැය කෙරේ. මෙම වැඩසටහන හරහා කෘෂිකර්මාන්තය, මිරිදිය ධීවර කර්මාන්තය සහ කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා උපකරණ ලබා දීම සිදු කෙරේ.

ආපදා අවම කිරීමේ ව්‍යාපෘති යටතේ හෝමාගම, සීතාවක සහ මහරගම ප්‍රදේශවල ගංගා පිරිසිදු කිරීම සහ පටුමග සංවර්ධනය කිරීම සිදු කෙරේ. ක්‍රීඩා සංස්කෘතියක් බිහිකිරීම වෙනුවෙන් පාසල් සහ මහජන ක්‍රීඩාංගණ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 4 ක් වෙන් කර ඇති අතර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 39 ක් සඳහා රුපියල් ලක්ෂ 3 බැගින් ලබා දී දෙහිවල, මහරගම, හෝමාගම සහ තිඹිරිගස්යාය යන ප්‍රදේශවල ක්‍රීඩාංගණ සංවර්ධනය කෙරේ.

මීට අමතරව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය හරහා විහාරස්ථාන, ක්‍රීඩාංගණ සහ අධිකරණ ගොඩනැගිලි සංවර්ධනය කිරීමද සිදු කෙරෙමින් පවතඅන බව නිලධාරීන් පැවසීය.

එසේම කොළඹ දිස්ත්‍රික්කයේ විකේන්ද්‍රගත ප්‍රාග්ධන අයවැය යටතේ ප්‍රතිලාභී පවුල් 184,775 ක් සඳහා අනුමත කර ඇති මුළු ව්‍යාපෘති සංඛ්‍යාව 281 ක් වන අතර මේ සඳහා වෙන් කර ඇති මුළු ප්‍රතිපාදනය රුපියල් මිලියන 217.38 ක් බව නිලධාරීන් පැවසුවේය, මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 180.00 ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 37.38 ක් ද ඊට ඇතුළත් වේ. මෙම ව්‍යාපෘතිවල මුළු ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 217.03 කි.
අනුමත ව්‍යාපෘති 281 හි භෞතික ප්‍රගතිය සලකා බැලීමේදී, ඇස්තමේන්තු සකස් කරමින් හෝ සකස් කිරීමට ඇති ව්‍යාපෘති 08 ක්, ඇස්තමේන්තු සකස් කර අවසන් ව්‍යාපෘති 05 ක්, මිල කැඳවීම් සිදු කර ඇති ව්‍යාපෘති 21 ක්, ඇගයීම් මට්ටමේ පවතින ව්‍යාපෘති 09 ක් සහ කොන්ත්‍රාත් පවරා ඇති ව්‍යාපෘති 17 ක් පවතී. එමෙන්ම වැඩ ආරම්භ කළ හෝ 25% දක්වා අවසන් වූ ව්‍යාපෘති 51 ක්, 25% ත් 50% ත් අතර අවසන් වූ ව්‍යාපෘති 09 ක්, 50% ත් 75% ත් අතර අවසන් වූ ව්‍යාපෘති 07 ක්, 75% ත් 99% ත් අතර අවසන් වූ ව්‍යාපෘති 17 ක්, 100% ක් භෞතිකව අවසන් කර ගෙවීම් කිරීමට ඇති ව්‍යාපෘති 93 ක් සහ භෞතිකව මෙන්ම මූල්‍යමය වශයෙන් සම්පූර්ණයෙන්ම අවසන් වූ ව්‍යාපෘති 44 ක් බව මෙහිදී අණාවරණය විය.

මූල්‍යමය ප්‍රගතිය අනුව මුළු ව්‍යාපෘති වියදම රුපියල් මිලියන 21.647 ක් සහ පරිපාලන වියදම රුපියල් මිලියන 0.334 ක් ලෙස මුළු වියදම රුපියල් මිලියන 21.981 කි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, පළාත් පාලන නියෝජිතයින්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *