ජෝර්ජියා මෙලෝනිගේ රජය යටතේ ඉතාලිය පාසල් තුළ ලිංගික අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් නීතිමය සීමා පැනවීමට පියවර ගෙන තිබේ. 2026 ජූනි 4 වන දින ඉතාලි සෙනෙට් මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන් (78–38) අනුමත වූ මෙම නව නීතිය ජූලි 7 වනදා සිට ක්‍රියාත්මක වේ.
නව නීතිමය ප්‍රතිපාදනවලට අනුව පෙරපාසල් සහ ප්‍රාථමික පාසල් තුළ ලිංගිකත්වය සම්බන්ධ මාතෘකා අරමුණු කරගත් අධ්‍යාපනික හෝ ව්‍යාපෘති ක්‍රියාකාරකම් පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. ද්විතීයික පාසල්වල ලිංගික අධ්‍යාපන ක්‍රියාකාරකම් පැවැත්වීමට පෙර බාල වයස්කාර සිසුන්ගේ දෙමාපියන්ගෙන් පූර්ව ලිඛිත අනුමැතිය (informed consent) ලබාගැනීම අනිවාර්ය කර තිබේ. ඒ අනුව, යම් ක්‍රියාකාරකමකට අවම වශයෙන් දින 7කට පෙර එහි අරමුණු, අන්තර්ගතය, භාවිත කරන අධ්‍යාපනික ද්‍රව්‍ය සහ ඊට සම්බන්ධ වන බාහිර විශේෂඥයන් පිළිබඳව දෙමාපියන් දැනුවත් කළ යුතුය. දෙමාපියන් අනුමැතිය ලබා නොදෙන්නේ නම්, එම ශිෂ්‍යයාට වෙනත් විකල්ප අධ්‍යාපනික ක්‍රියාකාරකමකට යොමු වීමට අවස්ථාව හිමිවේ.
අධ්‍යාපන අමාත්‍ය ජුසෙප්පේ වැල්දිතාරා (Giuseppe Valditara) සඳහන් කරන්නේ දරුවන් ව්‍යාකූලත්වයෙන් ආරක්ෂා කරමින්, ඔවුන්ගේ ලිංගික identity සම්බන්ධ තීරණ ගැනීමේදී දෙමාපියන්ට වැඩි භූමිකාවක් ලබාදීම මෙහි අරමුණ බවයි. දෙමාපියන්ගේ අධ්‍යාපනික අයිතිය ශක්තිමත් කිරීම සහ පවුලත් පාසලත් අතර සබඳතාව තහවුරු කිරීම රජයේ ප්‍රධාන තර්කය වී ඇත. කෙසේ වෙතත්, විද්‍යාව විෂය යටතේ ජීව විද්‍යාත්මක කරුණු උගන්වන බවත්, පරස්පර ගෞරවය හා සබඳතා පිළිබඳ අධ්‍යාපනය පවත්වාගෙන යන බවත් රජය පවසයි.
මෙම පියවර විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල සහ මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක්ව තිබේ. Human Rights Watch වැනි සංවිධාන පෙන්වා දෙන්නේ දෙමාපිය අනුමැතිය අනිවාර්ය කිරීම හරහා ළමයින්ට ලිංගික සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳ විද්‍යාත්මක තොරතුරු ලබාගැනීමේ අයිතිය සීමා වන බවයි. 2025 Save the Children සමීක්ෂණයකට අනුව ඉතාලි දරුවන්ගෙන් 47%ක් පමණක් පාසලෙන් ලිංගික අධ්‍යාපනය ලබා තිබූ අතර, 57%ක්ම ඒ පිළිබඳ තොරතුරු ලබාගැනීමට අන්තර්ජාලය භාවිත කර ඇත. දරුවන්ගේ ආරක්ෂාව, දෙමාපියන්ගේ අයිතිය සහ පාසල් පද්ධතියේ ස්වාධීනත්වය පිළිබඳ මෙම තීරණය මේ වන විට යුරෝපය පුරා විශාල සමාජ විවාදයක් නිර්මාණය කර තිබේ.


