ශ්‍රී ලංකාවේ නිරිතදිග මුහුදට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේ ආහාර, ඉන්ධන සහ මිරිදිය ජලය නොමැතිව සිරවී ඇති ඉරාන නෞකා 19 සඳහා කිසිදු ආකාරයක සැපයුමක් හෝ පහසුකමක් ලබා නොදෙන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයට දැඩි ලෙස දැනුම් දී තිබේ. ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත වාර්තා කරන පරිදි, කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් මෙරට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරමින් පෙන්වා දී ඇත්තේ, ජාත්‍යන්තර සම්බාධකවලට ලක්ව ඇති මෙම නෞකාවලට සහාය දක්වන යම් පාර්ශ්වයක් වේ නම්, එම මෙරට ආයතන සහ සමාගම් වෙත ද්විතීක සම්බාධක (Secondary Sanctions) පැනවීමට කටයුතු කරන බවයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු අදාළ සියලු පාර්ශ්ව අදාළ නෞකාවලට පහසුකම් සැලසීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමට පියවර ගෙන ඇති අතර, ජාත්‍යන්තර සම්බාධක සහිත නෞකාවලට දැනුවත්ව හෝ නොදැනුවත්ව සහාය දෙන නාවික නියෝජිතයන්, ඉන්ධන සැපයුම්කරුවන් සහ සේවා සපයන සමාගම් දැඩි නීතිමය අවදානමකට ලක්වන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවැත්වූ විශේෂ පුහුණු වැඩසටහනකදී ද අවධාරණය කර ඇත.
ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් සුරකිමින් මෙම නෞකාවලට සිය මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර දී නොමැති වුවද, දිවයිනට ආසන්නව නිර්මාණය වී ඇති මෙම අර්බුදය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. ඉදිරියේදී මෙම නෞකා සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු බලවත් රටවල් ගන්නා තීරණ ලංකාවේ සමුද්‍රීය හා ආර්ථික ස්ථාවරත්වයට සෘජුව බලපෑ හැකි බැවින්, ජාත්‍යන්තර සම්බාධක හමුවේ මෙරට මූල්‍ය හා වෙළෙඳ ක්ෂේත්‍රයට හානියක් නොවන පරිදි ඉතා විමසිලිමත්ව කටයුතු කිරීමට රජයට සිදුව ඇත. මේ වන විටත් මෙරට ආරක්ෂක සහ නාවික අංශ විසින් මෙම තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයෙන් යුතුව අඛණ්ඩ නිරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.


