ගැඹුරු මුහුදේදී රුපියල් බිලියන 4.2 ක මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 189 ක් අත්අඩංගුවට ගැනීම
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකසිය අසූ නවයයි ග්‍රෑම් දෙසීය හතලිස් හයක (189.246 Kg) පමණ තොගයක් අඩංගු උර දහයක් (10) ප්‍රවාහනය කල දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගනු ලැබු අතර, එම මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය හා විමර්ශන කටයුතු සඳහා පෙරදින උදෑසන (නොවැ 05) දික්ඕවිට ධීවර වරාය වෙත ගෙන එනු ලැබීය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහාය සහිතව මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර පරීක්‍ෂාවේදී, එම මත්ද්‍රව්‍ය තොගයෙහි පාර්සල් සියයක (100) අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ එකසිය තිස් දෙකයි ග්‍රෑම් විසිහයක (132.26 Kg) පමණ තොගයක් සහ පාර්සල් පනස් දෙකක (52) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ පනස් හතයි ග්‍රෑම් දෙසීය විස්සක (57.220 Kg) පමණ තොගයක් ඇති බවට තහවුරු විය. එම මත්ද්‍රව්‍ය තොගයේ දල වීථි වටිනාකම රුපියල් බිලියන 4.2 කට (කෝටි 420) අධික බවට විශ්වාස කෙරෙන අතර, මත්ද්‍රව්‍ය තොගය සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතව ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය නිරික්‍ෂණය සඳහා මා සමඟ නාවික හමුදාධිපති ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වන ලදී.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සිදුකරන ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සැපයීම අඩාල කිරීම සඳහා අප රටට අයත් සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන බවත්, නාවික හමුදාව ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී, මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බව මා සඳහන් කරන ලදී.
මේ වන විට නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, අනෙකුත් සන්නද්ධ හමුදා, පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව දේශීය හා විදේශීය බුද්ධි අංශ සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් දිවයිනේ ගොඩබිම් හා මුහුදු කලාප ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තවදුරටත් තීව්‍ර කර ඇත. එමෙන්ම, මත්ද්‍රව්‍ය සැපයුම හා ඉල්ලුම පාලනය කිරීම සඳහා නව නීති සම්පාදනය කිරීම, නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත අවශ්‍ය තාක්‍ෂණික උපකරණ හා පහසුකම් ලබාදීම ඇතුළු රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග හමුවේ කිසිදු ආකාරයකින් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට ඉඩක් නොතබන බව ද මා අවධාරණය කරන ලදී.
නාවික හමුදාව පමණක් පසු ගිය 2025 වර්ෂයේ රුපියල් බිලියන හැත්තෑ පහකට (75) අධික දල වීථි වටිනා නමකින් යුත් මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට හසුකරගෙන ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙත හා ඒ සඳහා අනුබල දෙන හා පහසුකම් සපයන්නන් වෙත විෂ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉවත්වන ලෙසද මා එහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.
රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු බුද්ධි සේවාවන් සමඟ තොරතුරු හුවමාරුකර ගනිමින් විශාල කැපවීමකින් යුතුව දින ගණනාවක් ගැඹුරු මුහුදේ ආවේක්‍ෂණ කටයුතු සිදුකර, සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමක් සිදුකිරීම සම්බන්ධයෙන්, ඒ සඳහා දායක වූ නාවික හමුදාව සහ අනෙකුත් සියළුම පාර්ශවයන් වෙත ගරු ජනාධිපතිතුමන් සහ සමස්ථ මහජනතාව වෙනුවෙන් මාගේ කෘතඥතාව පල කරන ලදී,
මත්ද්‍රව්‍ය ව්‍යසනය පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා මාධ්‍ය මඟින් සිදුකරනු ලබන කාර්යභාරය අගයන බවද, මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සාර්ථකව සිදුකිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ක්‍ෂණික දුරකථන අංක 1818 හෝ 1997 ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙසද මා මහජනතාව වෙතින් ඉල්ලා සිටින ලදි.
තවද, මෙම මෙහෙයුමත් සමග, 2025 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට, ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ වී වසරක කාලයකදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකල මෙහෙයුම් මඟින්, රුපියල් බිලියන එකසිය දහහතරකට (114) අධික දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති අතර, 2026 වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් පමණක් රුපියල් බිලියන හැත්තෑ තුනකට (73) අධික දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *