මාතර සමුපකාරයේ හිටපු සභාපතිගේ පෞද්ගලික නීතිඥයා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු!
————–
මාතර විවිධ සේවා සමූපකාර සමිතිය ඇතුළු සමූපකාර සමිති ගණනාවක සිදුවී ඇති රුපියල් කෝටි 3,000කට අධික දැවැන්ත මූල්‍ය වංචාව සම්බන්ධයෙන්, දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින එහි හිටපු සභාපති චමින්ද ගුණසේකර නැමැත්තාගේ පෞද්ගලික නීතිඥවරයා වන නීතිඥ චන්දන ගොඩකන්ද නැමැත්තා දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා වරෙන්තු නිකුත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් සිදු කළ විමර්ශනවලදී, නීතිඥ චන්දන ගොඩකන්ද භාවිතා කළ ‘SP KG-2555’ දරන මෝටර් රථය ද පසුගියදා පොලිස් භාරයට ගෙන තිබිණි.
මොහු සතුව ඇති මෙම වාහනය මෙන්ම අනෙකුත් දේපළද උපයාගත් ආකාරය නීත්‍යානුකූලව තහවුරු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතේ මොහුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උත්සාහ කළද, ඔහු ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටී. ඒ අනුව, මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා විසින් මොහුව දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.
මෙම රුපියල් කෝටි තුන්දහසකට අධික මූල්‍ය වංචාව සිදු කිරීම සඳහා අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදීම මෙන්ම ඊට අදාළ ලිපි ලේඛන කටයුතු සිදු කර ඇති බවට ද මෙම නීතිඥවරයාට චෝදනා එල්ල වී ඇත.
මෙම දැවැන්ත මූල්‍ය අක්රමිකතාව සම්බන්ධයෙන් හිටපු සභාපති චමින්ද ගුණසේකර, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත, චමින්ද ගුණසේකර පාලනය කරනු ලැබූ පෞද්ගලික සමාගම් තුනක ඔහු රක්ෂිත බන්ධනාගාරගත වූ පසු සභාපති ධූරය දැරූ කල්පනී භාග්‍යා කුමාර සිරි ජයවර්ධන, බෙරලපනාතර විවිධ සේවා සමූපකාර සමිතියේ හිටපු අධ්‍යක්ෂකවරයකු වන සුරංග ලක්මාල් එදිරිසිංහ ඇතුළු දස දෙනෙකුට වැඩි පිරිසක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.


