රනිල් වික්‍රමසිංහ මහතාට අයිති සමාගම දයා ගමගේ පව්ලට පැවරුවේ ඇයි?

වර්ණ ලිමිටඩ් සමාගමේ හිමිකාරීත්වය දයා ගමගේ පවුලට පැවරීම පිටුපස රජයේ බැංකු ණය පිළිබඳව අර්බුදයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සතුව තිබූ ‘වර්ණ ලිමිටඩ්’ (Warna Limited) සමාගමේ කොටස් සහ අධ්‍යක්ෂ ධුරවලින් ඔවුන් ඉවත් වී, එම සමාගම දයා ගමගේ පවුල වෙත පවරා දී ඇති බවට සිවිල් බුද්ධි පෙරමුණ විසින් සිදු කළ හෙළිදරව්ව දේශපාලන හා මූල්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා පෙන්වා දුන්නේ, පසුගිය ඔක්තෝබර් 14 වන දින නිකුත් වූ ලේඛනවලට අනුව රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සමාගමේ වැඩිම කොටස් හිමි තනි පුද්ගලයා ලෙස සටහන්ව තිබියදී සිදු වූ මෙම හදිසි හිමිකාරීත්ව මාරුව සැකසංකා මතු කරවන බවයි.

අදාළ සමාගම වෙත රජයේ බැංකු මඟින් ලබා දී ඇති බිලියන ගණනක ණය මුදල්, මෙම හිමිකාරීත්ව හුවමාරුවට ප්‍රථම සම්පූර්ණයෙන්ම පියවා තිබේද යන්න පිළිබඳව මෙහිදී බරපතල ප්‍රශ්න මතු කර ඇත. මෙම හිමිකාරීත්ව මාරුවෙන් පසුව සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස අශෝක හේමචන්ද්‍ර සහ දයා ගමගේ මහතාගේ පුත් චමීන්ද්‍ර කිලිටුව ගමගේ යන අය පත්ව සිටිති.

ලබාගෙන ඇති රාජ්‍ය බැංකු ණය ඉදිරියේදී බොල් ණය ලෙස කපා හැරීමේ අවදානමක් පවතින බවත්, එමඟින් පොදු මහජනතාවගේ සහ තැන්පත්කරුවන්ගේ අරමුදල් අවභාවිත විය හැකි බවත් සිවිල් බුද්ධි පෙරමුණ චෝදනා කරයි. දේශපාලන බලපෑම් මත සිදුවන මෙවැනි මූල්‍ය ගනුදෙනු රටේ ආර්ථික ස්ථාවරත්වයට මෙන්ම පද්ධතියේ විනිවිදභාවයටද දැඩි තර්ජනයක් බව විචාරකයෝ පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *