කොළඹ කොටස් වෙළඳපළ (CSE) ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මූල්‍ය සමථය ලෙස රුපියල් මිලියන 188.1 ක (කෝටි 18 කට අධික) මුදලක් ගෙවා සිද්ධියක් සමථයකට පත් කරගැනීමත් සමඟ, මෙරට ප්‍රාග්ධන වෙළඳපළේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳව බරපතළ සංවාදයක් නිර්මාණය වී තිබේ.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් සිදු කරන ලද විමර්ශනයකට අනුව, කොටස් වෙළඳපළේ සිදු වූ බව කියන මූල්‍ය විෂමාචාරයක් සම්බන්ධයෙන් මෙම සමථයට එළඹ ඇතත්, මෙතරම් දැවැන්ත මුදලක් ගෙවා නීතිමය පියවරයන්ගෙන් නිදහස් වූ පාර්ශ්වය කවුරුන්ද යන්න මෙතෙක් හෙළි කර නොමැත.
‘කෘත්‍රිම ඉල්ලුම’ සහ කුඩා ආයෝජකයාට වූ පාඩුව
මෙම සිද්ධියේ මූලික චෝදනාව වී ඇත්තේ වෙළඳපළ තුළ “අසත්‍ය වෙළඳාම්” (False Trading) මගින් කොටස් මිල කෘත්‍රිමව ඉහළ නැංවීමයි. යම් සමාගමක කොටස් සඳහා සැබෑ ලෙසම පවතින ඉල්ලුමට වඩා වැඩි වටිනාකමක් ඇති බව පෙන්වීමට කෘත්‍රිම ගනුදෙනු මඟින් වෙළඳපළ නොමඟ යැවීම මෙහිදී සිදු කර ඇත.
මෙවැනි කෘත්‍රිම ඉල්ලුමකට රැවටෙන සාමාන්‍ය කුඩා පරිමාණ ආයෝජකයින් අදාළ කොටස් වැඩි මිලට මිලදී ගැනීමට පෙළඹෙන අතර, පසුව එම කෘත්‍රිම ගනුදෙනු හදිසියේ නතර වූ විට කොටස් මිල ශීඝ්‍රයෙන් පහත වැටීමෙන් දැවැන්ත පාඩුවකට මුහුණ දෙයි. මෙම ක්‍රියාව 2021 අංක 19 දරන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 128(1) වගන්තිය යටතේ නීතිවිරෝධී වරදකි.
නඩු පැවරීම වෙනුවට මුදල් ගෙවා බේරීම
මෙම සිදුවීමේ වඩාත්ම කතාබහට ලක්ව ඇත්තේ අදාළ වරද සම්බන්ධයෙන් අපරාධ නඩු විභාගයකට නොගොස් මුදල් ගෙවීමක් මඟින් එය සමථයකට පත් කරගැනීමයි. කොමිෂන් සභා පනතේ 152 වගන්තිය අනුව එකඟ වූ දඩ මුදලක් ගෙවා නඩුව අවසන් කරගැනීමට (Compounding an offence) නීතිමය ඉඩකඩ පවතී.
නියාමකයින් පවසන්නේ දීර්ඝ කාලයක් අධිකරණයේ නඩු කීම වෙනුවට ඉක්මනින් රජයට මුදල් ලබාගැනීමට මෙමඟින් හැකියාව ලැබෙන බවයි. එහෙත්, වරදකරුගේ අනන්‍යතාව හෙළි නොකර මෙලෙස මුදලට වැරදි වසා ගැනීමට ඉඩ දීම හරහා ධනවතුන්ට නීතියෙන් ගැලවීමට අවස්ථාව ලැබෙන බවට වෙළඳපළ නිරීක්ෂකයෝ විවේචනය කරති.
විදේශ ගිණුම් සහ CID විමර්ශන
මීට අමතරව, සංවෘත වෙළඳ මෘදුකාංග යෙදවුමක් (closed-shell trading application) හරහා පුද්ගලයින් නොමඟ යවා මුදල් විදේශීය බැංකු ගිණුම් වෙත යොමු කිරීමක් පිළිබඳව ලැබුණු තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත. කෙසේ වෙතත්, එම විමර්ශනය සහ කොටස් වෙළඳපළේ සිදුවූ මෙම සමථය අතර පවතින සෘජු සබඳතාව මෙතෙක් තහවුරු වී නොමැත.
ශ්‍රී ලංකා කොටස් වෙළඳපළේ සිදු වූ විශාලතම මූල්‍ය විෂමාචාරය කෝටි 18ක මුදලකින් සමථයකට පත් වුවද, ඊට වගකිවයුතු සැබෑ පුද්ගලයන් කවුරුන්ද යන්න හෙළි නොවීම ආයෝජකයින් අතර බරපතල සැකසංකා ඉතිරි කර ඇත.


