ලියාපදිංචි නොමැති පෙර පාසල් ගුරුවරුන්ට නව විෂය නිර්දේශ පුහුණුව අහිමි කිරීමෙන් දැඩි අසාධාරණයක් – උතුරු මැද පළාතේ පුහුණු වැඩසටහන්වල ගුණාත්මකභාවයත් ප්‍රශ්න කෙරේ
දිවයිනේ සියලු පෙර පාසල් සඳහා ලබන වසරේ සිට පොදු විෂය නිර්දේශයක් හඳුන්වාදීමේ අරමුණින් දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර ඇති නව විෂය නිර්දේශ පුහුණු වැඩසටහන් තුළ උතුරු මැද පළාතේ ලියාපදිංචි නොමැති පෙර පාසල් ගුරුවරුන්ට අවස්ථාව ලබා නොදීමත්, ක්‍රියාත්මක පුහුණු වැඩසටහන්වල ගුණාත්මකභාවය පිළිබඳවත් දැඩි අවධානය යොමු වී තිබේ.
රට පුරා පෙර පාසල් අධ්‍යාපනය සඳහා එකම විෂය නිර්දේශයක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ යටතේ ලියාපදිංචි මෙන්ම ලියාපදිංචි නොමැති පෙර පාසල්වල ගුරුවරුන් ද ආවරණය වන පරිදි මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණද, උතුරු මැද පළාත තුළ එම වැඩපිළිවෙළ ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන් සඳහා පමණක් සීමා වී ඇති බවට චෝදනා එල්ල වී ඇත.
උතුරු මැද පළාත් පූර්ව ළමා විය සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂවරයාගේ මැදිහත්වීම මත ලියාපදිංචි පෙර පාසල් සඳහා පමණක් මෙම පුහුණු වැඩසටහන් ලබාදීමට කටයුතු කර ඇති බවට පෙන්වා දෙන අතර, පළාත තුළ ලියාපදිංචි නොමැති පෙර පාසල් ගුරුවරුන්ට මෙතෙක් මෙම පුහුණුව ලබාදීමට කටයුතු නොකිරීම බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ.
අනුරාධපුර නගරය සහ ඒ අවට ප්‍රදේශවල ලියාපදිංචි නොමැති පෙර පාසල් විශාල සංඛ්‍යාවක් පවත්වාගෙන යනු ලබන අතර, එම පෙර පාසල්වල ද දරුවන්ගේ මූලික අධ්‍යාපනික, සමාජීය හා චිත්තවේගීය සංවර්ධනය වෙනුවෙන් ගුරුවරුන් කැපවීමෙන් කටයුතු කරනු ලබයි. එහෙත් එම ගුරුවරුන්ට නව විෂය නිර්දේශය පිළිබඳ අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාගැනීමේ අවස්ථාව අහිමි කිරීම තුළ ඔවුන්ට පමණක් නොව එම පෙර පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට ද අසාධාරණයක් සිදුවන බව පෙන්වා දෙයි.
ලියාපදිංචි තත්ත්වය මත පමණක් ගුරුවරුන් පුහුණු අවස්ථාවලින් බැහැර කිරීම, සියලු පෙර පාසල් සඳහා පොදු විෂය නිර්දේශයක් හඳුන්වාදීමේ අරමුණ සමඟ ගැළපෙන ක්‍රියාමාර්ගයක් ද යන්න ප්‍රශ්න කිරීමට සිදුවන බව ද මේ සම්බන්ධයෙන් අදහස් පළ වේ.
මේ අතර, උතුරු මැද පළාතේ ක්‍රියාත්මක කර ඇති නව විෂය නිර්දේශ පුහුණු වැඩසටහන්වල ගුණාත්මකභාවය පිළිබඳව ද විවේචන එල්ල වී තිබේ. පුහුණු වැඩසටහන් සඳහා විධිමත් පුහුණුවක් හෝ අවශ්‍ය පළපුරුද්දක් නොමැති සම්පත්දායකයන් විශාල සංඛ්‍යාවක් යොදාගෙන ඇති බවට පෙන්වා දෙන අතර, එම තත්ත්වය හේතුවෙන් පුහුණු වැඩසටහන්වල අපේක්ෂිත ගුණාත්මකභාවය පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවට චෝදනා එල්ල වේ.
පූර්ව ළමා විය අධ්‍යාපනය සම්බන්ධයෙන් ගුරුවරුන්ට ලබාදෙන පුහුණුව යනු හුදෙක් විෂය කරුණු ඉදිරිපත් කිරීමක් පමණක් නොව, දරුවන්ගේ වයස් මට්ටම, සංවර්ධන අවශ්‍යතා, ඉගෙනුම් ක්‍රමවේද, ක්‍රියාකාරකම් සැලසුම් කිරීම සහ දරුවන් සමඟ කටයුතු කිරීමේ ප්‍රායෝගික ක්‍රම පිළිබඳ නිසි මඟපෙන්වීමක් ලබාදිය යුතු වැඩසටහනකි. එවැනි පුහුණුවක් ලබාදීම සඳහා සුදුසුකම් සහිත, විෂය ක්ෂේත්රය පිළිබඳ ප්‍රායෝගික හා විධිමත් දැනුමක් ඇති සම්පත්දායකයන් යොදා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.
එහෙත් විධිමත් පුහුණුවක් නොමැති සම්පත්දායකයන් යොදා ගැනීම සහ අවම පහසුකම් යටතේ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඒවායේ ප්‍රමිතිය හා ඵලදායීතාව පිළිබඳ ගැටලු මතුව ඇති බවට අදහස් පළ වේ.
පූර්ව ළමා විය සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ මැදිහත්වීම් හේතුවෙන් උතුරු මැද පළාතේ බොහෝ කොට්ඨාසවල මෙම පුහුණු වැඩසටහන්වල ගුණාත්මකභාවය පහළ මට්ටමකට පත්ව ඇති බවට ද චෝදනා එල්ල වන අතර, පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී නිසි අධීක්ෂණයක්, ප්‍රමිතියක් හා වගකීම් සහිත ක්‍රමවේදයක් පවත්වාගෙන යාමට අදාළ බලධාරීන් කටයුතු කළ යුතු බව පෙන්වා දෙයි.
මෙම පුහුණු වැඩසටහන් සඳහා වෙන්කර ඇති මුදල් නොවැම්බර් මස 30 වනදා වන විට අදාළ පුහුණු කටයුතු අවසන් කිරීම සඳහා යොදාගත යුතු බවට ද සඳහන් වේ. එම කාලසීමාව තුළ පුහුණු වැඩසටහන් අවසන් නොකළහොත් ඒ සඳහා වෙන් කර ඇති මුදල් නැවත භාණ්ඩාගාරය වෙත යොමු කිරීමට සිදුවන බවට පෙන්වා දෙන අතර, එවැනි තත්ත්වයක් පවතින අවස්ථාවක පුහුණුව අහිමි වී සිටින ලියාපදිංචි නොමැති පෙර පාසල් ගුරුවරුන්ට ද පුහුණුව ලබාදීමට කඩිනම් පියවර ගත හැකිව තිබියදී එම අවස්ථාව නොලැබීම පිළිබඳව දැඩි අවධානය යොමු වී තිබේ.
පෙර පාසල් අවධිය යනු දරුවෙකුගේ ජීවිතයේ අධ්‍යාපනික හා පෞරුෂ සංවර්ධනය සඳහා තීරණාත්මක මූලික අවධිය වන අතර, එම දරුවන්ගේ නෙත් සිත් පාදමින් අනාගතයට මඟ පෙන්වන පෙර පාසල් ගුරුවරයාට අවශ්‍ය දැනුම, පුහුණුව හා නිසි මඟපෙන්වීම ලබාදීම අදාළ බලධාරීන්ගේ වගකීමකි.
එබැවින් ලියාපදිංචි පෙර පාසල්වලට පමණක් පුහුණු අවස්ථා සීමා කිරීම වෙනුවට, ලියාපදිංචි නොමැති පෙර පාසල්වල ගුරුවරුන් ද ඇතුළත් කර ගනිමින් සාධාරණ හා විධිමත් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත්, දැනට ක්‍රියාත්මක පුහුණු වැඩසටහන්වල ගුණාත්මකභාවය පිළිබඳ විධිමත් සොයා බැලීමක් සිදුකර අවශ්‍ය නිවැරදි කිරීම් සිදු කරන ලෙසත් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීම් කෙරේ.
සුවහසක් දූ දරුවන්ගේ අනාගතයට මූලික අඩිතාලම සකස් කරන පෙර පාසල් ගුරුවරුන්ට සිදුවන මෙම අසාධාරණය නිවැරදි කර, සියලු පෙර පාසල් දරුවන්ට එක හා සමාන අධ්‍යාපනික අවස්ථා සහ ගුණාත්මක පෙර පාසල් අධ්‍යාපනයක් හිමිවන පරිදි කඩිනම් මැදිහත්වීමක් සිදුකිරීම බලධාරීන්ගේ වගකීමක් බව අවධාරණය කෙරේ.
අනුරාධපුර වාර්තාකරු ,
ඉෂාන් කළුආරච්චි


