ශ්‍රී ලංකා කෘෂිකර්මය ඩිජිටල්කරණයට: ISAE 2026 සම්මන්ත්‍රණය සාර්ථකව නිමවේ

ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය ඩිජිටල් හා නව තාක්ෂණික යුගයකට
ISAE 2026 ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සාර්ථකව පැවැත්වෙයි

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය විසින් සංවිධානය කරන ලද “කෘෂිකර්මය සහ පරිසරය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය” (ISAE 2026) නිල වශයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී (02) වන දින පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සප්‍රමාණික ඩිජිටල්කරණයකට සහ නවීන තාක්ෂණය පදනම් කරගත් යුගයකට පරිවර්තනය කිරීමේ තීරණාත්මක ආරම්භයක් ලෙස මෙම සම්මන්ත්‍රණය සලකනු ලබයි.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට නූතන තාක්ෂණය මුසු කරමින් ඉදිරියට ගෙන යාම සඳහා විද්වත් සමාජ කතිකාවතක් නිර්මාණය කිරීම මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ විය. රාජ්‍ය අංශය, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය, විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන මෙන්ම පෞද්ගලික තාක්ෂණික අංශ එකට ඒකාබද්ධ කරමින් පැවැත්වූ මෙම හමුව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අනාගතයට ඉතා වැදගත් සංකේතාත්මක පියවරකි.

මෙම සැසියේදී වර්තමාන කෘෂිකාර්මික අභියෝග, නවීන තාක්ෂණයේ භූමිකාව සහ අනාගතයේදී අනුගමනය කළ යුතු උපායමාර්ගික දිශානතීන් පිළිබඳව ගැඹුරු සහ ඉහළ මට්ටමේ සංවාදයක් පැවැත්විණි.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ඇතුළු දිවයිනේ ප්‍රමුඛ පෙළේ මහාචාර්යවරුන්, පර්යේෂකයින් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ බුද්ධිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට සහභාගී වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා විද්වත් සභාව අමතමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රායෝගික පරිවර්තනයක අවශ්‍යතාව පෙන්වා දුන්නේය:

“ජල කළමනාකරණය සහ දියුණු බීජ භාවිත කරමින්, පැළයට අවශ්‍ය නිවැරදි ප්‍රමාණයට සහ අවශ්‍යම මොහොතට පෝෂණය ලබා දීමේ විද්‍යාත්මක ක්‍රමවේදයකට අප යා යුතුයි. රජය, පෞද්ගලික අංශය සහ විශ්වවිද්‍යාල පද්ධතිය එක් කරන පුළුල් සංවාද කතාවට විතරක් සීමා නොවී, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති බවට පත්විය යුතුයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ සිව්වන පරම්පරාවේ පොහොර තාක්ෂණයන් කෙරෙහි පවතින උනන්දුව තවදුරටත් වර්ධනය විය යුතුයි. විද්වත් සියලු දෙනා එකතු වී රටට වඩාත්ම සුදුසු හොඳම ක්‍රමවේදය අපට ලබා දෙන්න, රජයක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය හා ප්‍රතිපත්තිමය සහාය ලබා දීමට අපි සූදානම්. පොහොර සම්බන්ධයෙන් මතවාද සහ ප්‍රතිවිරෝධතා පැවතීම ස්වාභාවිකයි, මන්ද හොඳම දේ නිර්මාණය වන්නේ එවැනි සංවාදයන් තුළිනුයි. විශේෂයෙන්ම පසුගිය කාලයේ පැවති පොහොර අර්බුදයේදී පෞද්ගලික අංශය ඔවුන් සතු පොහොරවලින් 65%ක් රජය වෙත ලබා දෙමින් දැක්වූ සහයෝගයට මා මේ අවස්ථාවේදී කෘතඥපූර්වකව ස්තූතිවන්ත වෙනවා.”

මාධ්‍ය ඒකකය‍
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *