වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් වසා තැබුණු සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන යළි ආරම්භ කර ඇති බව සීමා සහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ සභාපති බී ජී ඩබ්ලිව් අතුල කුමාර මහතා පවසනවා.

ඒ අදාළ පාර්ශ්ව කිහිපයක් සහ සේවකයින් අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. සෙවනගල සීනි සමාගමේ සේවක නොසන්සුන්තාවයන් හේතුවෙන් පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයකදීම එහි නිෂ්පාදන කටයුතු සඳහා බාධා එල්ල වී තිබුණා. සේවකයින් ඉකුත් 25 වැනිදා සිට සේවයට වාර්තා කළ ද නිෂ්පාදන සිදු කිරීමට ඔවුන් යොමු නොවීම හේතුවෙන් කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු අඩා‍ල වුණා.

මීට අමතරව ඉකුත් 26 සහ 27 යන රජයේ නිවාඩු දිනවලද සේවකයින් සේවයට වාර්තා කළත් නිෂ්පාදන කටයුතු සිදු කෙරුණේ නැහැ. එම නිසා පාලනාධිකාරියට සිදුවූයේ නැවත දැනුම් දෙන තුරු කර්මාන්ත ශාලාව වසා තැබීමටයි. නිෂ්පාදනයකින් තොරව වැටුප් සහ අතිකාල දීමනා ගෙවීමෙන් සිදුවන පාඩුව වැළැක්වීම සඳහා, මෙම පියවර ගනු ලැබුවා.

කෙසේ වුවද අමාත්‍යාංශ නිලධාරින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සහ සේවකයින් අතර, පසුගියදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහි ප්‍රතිපලයක් ලෙස කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *