පසුගිය දින කිහිපය පුරාවටම රටේම අවධානය දිනාගත් නඩු කටයුතු අතරින් ප්‍රධානතම දෙකක් වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්අඩංගුවට පත්වීමේ සිදුවීම සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාට එරෙහිව ඇති නඩු කටයුතුයි. නමුත් මේ නඩු මෙහෙයවූ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්රබලතම නිලධාරියෙකු වන අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා හදිසියේම එම නඩු කටයුතුවලින් ඉවත් කර තිබීම දැඩි සැක සහ කතාබහක් ඇති කර තිබේ.මෙම නඩුකරයන්ගේ පසුබිම විශේෂයෙන්ම සංවේදීය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 නාළිකාව හරහා හෙළිවූ කරුණු මත සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට පත්ව සිටින අතර ඔහුට එරෙහිව ගොනු කරන ලද සාක්ෂි විවෘත අධිකරණය හමුවේ ඉදිරිපත් කළේ දිලීප පීරිස් මහතාය. ඔහුගේ ඍජු ක්‍රියාකලාපය බොහෝ දෙනාගේ ප්‍රශංසාවට පත් වුවද, ඇතැම් පාර්ශ්වයන්ගේ දැඩි කෝපයටද හේතු විය. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු අධිකරණයට පදක්කම් සහිතව පැමිණීමේදී සිදු වූ උණුසුම් වචන හුවමාරුවත්, පසුකාලීනව ඔහුට එල්ල වූ මරණ තර්ජනත් මෙම තත්ත්වය තවදුරටත් උණුසුම් කළේය.එවැනි පසුබිමක් තුළ දිලීප පීරිස් මහතා නඩු කටයුතුවලින් ඉවත් කරනු ලැබීම නීතිපතිවරයාගේ තීරණය බවට හෙළිවී ඇත. නීතිපති පාරින්ද රණසිංහ මහතාගේ පත්කිරීමේ ආකාරයත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්බන්ධතාවත් සමාජය තුළ දැඩි සැකයක් ඇති කර තිබේ. CID විසින් ගොනු කරන ලද සාක්ෂි හා විමර්ශන ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රමාද කිරීමේ ආකාරයත්, නඩු කටයුතු කල් දැමීමේ උපාය මාර්ගයක් ලෙස සැලකෙනවා.මෙවැනි තත්ත්වයන් මගින් මහජනතාවගේ යුක්තිය පිළිබඳ විශ්වාසය තවදුරටත් පළුදු වන අතර, මෑතකදී ලසන්ත වික්‍රමතුංග නඩුවේදී සැකකරුවන් නිදහස් කිරීමට ගත් තීරණයත් සමාජයේ දැඩි විරෝධය ඇති කළේය. මේ සියල්ලම එකට බැලූ විට, නීතිපති දෙපාර්තමේන්තුව තුළ සැඟවුණු බලවේග ක්‍රියාත්මක වන බවට සැකය තීව්ර වෙමින් පවතිනවා.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටද මෙම තොරතුරු වාර්තා වී ඇති බවට විශ්වාසදායක ආරංචි මාර්ග පෙන්වයි. නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන බවට ප්‍රතිඥා දුන් නව රජය මේ අභියෝගයට මුහුණ දීමේ ආකාරය රටම දැඩි අවධානයකින් බලා සිටින අතර, යුක්තිය සහ විනිවිදභාවය රැක ගැනීමේ අවශ්‍යතාවය දැඩිව මතු වී තිබේ.


