කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්
කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන වෙරළබඩ සහ මුහුදු තීරය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අගෝස්තු 27 වන දින පස්වරු 3.30 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව, අදාළ මුහුදු ප්‍රදේශවල රළ මීටර් 2.0 ත් 3.0 ත් අතර උසකින් ඉහළ යාමේ දැඩි හැකියාවක් පවතී. සාගර කලාපයේ සිදුවන මෙම හදිසි වෙනස්වීම් හේතුවෙන් ධීවර, නාවික ප්‍රජාවට මෙන්ම වෙරළ ආසන්නයේ පදිංචිකරුවන්ටද දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇත.
මෙම තත්ත්වය හමුවේ ධීවර හා නාවික කටයුතුවල නිරත වන පිරිස් මුහුදු යාමේදී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස උපදෙස් දී තිබේ. ආපදා කළමනාකරණ අංශ මේ පිළිබඳව අවධානයෙන් පසුවන අතර, ඉදිරියට නිකුත් කෙරෙන නිවේදන කෙරෙහි විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.


