පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දිනයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කෙරේ…..

court web

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කරයි.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළාය.

මැතිවරණ පැවැත්වෙන දිනය ජනාධිපතිවරයා විසින් මැතිවරණ පනතට අනුකූලව නිවැරදි ලෙස නියම කර ඇති බවත් මේ වනවිට මැතිවරණයට අදාළ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවටත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.
සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම “අපි ජාතික සංවිධානයේ” කැඳවුම්කරු එච්.එම්.ප්‍රියන්ත හේරත් විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර
එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයාය.
ඒ අනුව පෙත්සම්කරු පෙන්වා දෙන්නේ, අත්සන් කළ නාමයෝජනා භාර ගැනීම අවසන් වූ ඔක්තෝබර් මස 11 වැනිදා සිට සති පහක කාලසීමාව නොවැම්බර් මස 15 වැනිදායින් අවසන් වන අතර, සති 07ක කාලසීමාව අවසන් වන්නේ, නොවැම්බර් මස 29 වැනිදාට බවයි.
එහෙත් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නියම කර තිබෙන නොවැම්බර් මස 14 වැනිදා දිනය එම නීතිමය කාලසීමාවට ඇතුළත් නොවන හෙයින් එදින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම නීතියට පටහැනි බව ද පෙත්සම්කරු පෙන්වා දෙනවා.
මෙම වරද පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කළත් ඉන් පලක් නොවූ බවත් පෙත්සමේ සඳහන්.
මේ ක්‍රියාවෙන් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
එසේම අදාළ වරද නිවැරැදි කිරීමට හේතුවන සුදුසු නියෝගයක් වේ නම්, එවැනි නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සමේ සඳහන්ය.
අදාළ පෙත්සම පසුගිය 24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා නියෝග කළේ පෙත්සම සළකා බැලීම සඳහා නොවැම්බර් මස 4 වැනිදා කැඳවන ලෙසයි.
ඒ අනුව, පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *