යුද හමුදා වාහන සඳහා ආදායම් බලපත්‍ර අවශ්‍ය නෑ. ගාල්ල පොලිසියට එරෙහි මහේස්ත්‍රාත් තීන්දුව

ගාල්ල වෙසක් කලාපයේ ආවේක්ෂණ රාජකාරි නිමවා බූස්ස කඳවුර දෙසට යමින් සිටි යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසකට, ගාල්ල පොලිසියේ ඇතැම් නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද අත්තනෝමතික හා නීති විරෝධී ක්‍රියාකලාපයට එරෙහිව අවසානයේ අධිකරණය හමුවේ නීතියේ ආධිපත්‍යය තහවුරු වී තිබේ. පසුගිය 2025 මැයි 14 වන දින, සිය නීත්‍යානුකූල නිල ලියකියවිලි පැහැදිලිව පෙන්වා දුන්නද ඒවා තෘණ මාත්‍රයකට හෝ නොතකා හරිමින් ගාල්ල දිසා රථවාහන අංශයේ සැරයන් කිත්සිරි ඇතුළු පිරිස විසින් අදාළ හමුදා ත්‍රිරෝද රථයට දඩ කොළයක් නිකුත් කරමින් සමස්ත ආරක්ෂක අංශ පද්ධතියම මහත් අපහසුතාවයට පත් කරනු ලැබීය. ඉන් නොනැවතී, ඊළඟ දිනයේ සහතික කළ නිල ලියකියවිලි ඉදිරිපත් කළද, එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව මහතා සහ ස්ථානාධිපති ජයවීර මහතා ඇතුළු නිලධාරීන් 1955 ජූලි 08 දිනැති අදාළ ගැසට් පත්‍රය හිතාමතාම මඟහරිමින් කටයුතු කර තිබූ අතර, මෙම අසාධාරණය පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් සේරම් මහතා වෙත දැනුම් දුන්නද ඔහුද ඒ සම්බන්ධයෙන් කිසිදු සාධනීය පියවරක් නොගෙන මඟහැර සිටීම විශේෂත්වයකි.
මෙම අත්තනෝමතික ක්‍රියාවට එරෙහිව 2025 ජුනි 17 දින සිට 2026 සැප්තැම්බර් 07 දක්වා පුරා නඩු වාර 6ක් පවත්වමින් දීර්ඝ ලෙස විභාග වූ නඩුවේදී, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග සහ අදාළ ගැසට් පත්‍රය ප්‍රකාරව යුධ හමුදා වාහන සඳහා ආදායම් බලපත්‍ර අවශ්‍ය නොවන බව ගරු මහේස්ත්‍රාත්වරයා විසින් නීත්‍යානුකූලව තහවුරු කරනු ලැබීය. වසර 1කට සහ මාස 5කට අධික කාලයක් තිස්සේ රජය මෙන්ම ආරක්ෂක අංශද දැඩි ලෙස අපහසුතාවයට පත් කරමින් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු අනුගමනය කළ මෙම වගකීම් විරහිත සහ හිතුවක්කාරී හැසිරීම හමුවේ, අධිකරණය විසින් අවසානයේ සාධාරණත්වය සහ යුක්තිය ඉටු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *