දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම රජයේ ප්‍රමුඛ අරමුණයි

 

*දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම රජයේ ප්‍රධාන අරමුණයි*

– අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ගුරු වෘත්තිය, හුදෙක් රැකියාවක් ලබා දීම පමණක් නොව, දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ පදනම බැවින් ගුරු සේවයේ ගුණාත්මකභාවය ආරක්ෂා කරගනිමින් නිසි ක්‍රමවේදයට අනුව බඳවා ගැනීම් සිදු කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අද (23) පාර්ලිමේන්තුවේදී නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු 23,006ක් සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1-අ ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මෙහිදී ජාතික පාසල්වල පුරප්පාඩු 4,484ක් පවතින අතර, බස්නාහිර පළාතේ 2,500ක්, මධ්‍යම පළාතේ 3,480ක්, දකුණු පළාතේ 1,417ක්, උතුරු පළාතේ 1,685ක්, නැගෙනහිර පළාතේ 2,267ක්, වයඹ පළාතේ 2,025ක්, උතුරු මැද පළාතේ 1,345ක්, ඌව පළාතේ 1,606ක් සහ සබරගමුව පළාතේ පුරප්පාඩු 1,997ක් වශයෙන් තිබෙනවා.

ගැසට් නිවේදනයට අනුව එක් අයදුම්කරුවෙකුට උසස් පෙළ විෂයයන් දෙකක්, සාමාන්‍ය පෙළ විෂයයන් දෙකක් මෙන්ම ජාතික හා පළාත් පාසල් යන අංශ යටතේ අයදුම් කිරීමට අවස්ථාව හිමිව තිබීම නිසාත්, අධිකරණ තීන්දු සහ 2022 වසරේ පළවූ ගැසට් නිවේදනයට බැඳී කටයුතු කිරීමට සිදුවීම නිසාත් මෙය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්ව තිබෙනවා.

ඒ අනුව විභාග ප්‍රතිඵල මත එකම අයදුම්කරු විෂයයන් කිහිපයක් යටතේ සුදුසුකම් ලබා ඇති බැවින්, මෙම අදියරේදී ආබාධිත අයදුම්කරුවන්ද ඇතුළුව සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලබා ඇති මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 17,688 ක්.

එමෙන්ම විවෘත පදනම යටතේ විෂය සංකලන 11,906ක් සහ සීමිත පදනම යටතේ විෂය සංකලන 23,665ක් ලෙස සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට නියමිතයි.

පවතින පුරප්පාඩු සඳහා දෙගුණයක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවිය යුතු බැවින්, ප්‍රථම අදියරේ බඳවා ගැනීම්වලින් පසුව ඉතිරි වන පුරප්පාඩු සඳහා විභාග ප්‍රතිඵල මත පදනම්ව දෙවන සහ තෙවන අදියරයන් යටතේ කැඳවීම් සිදු කරනවා.

වසර ගණනාවක් තිස්සේ ගුරුවරුන් බඳවා නොගැනීම නිසා පාසල්වල අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට විදුහල්පතිවරුන් විසින් සංවර්ධන නිලධාරීන් 8,788 දෙනෙකු පන්ති කාමරවල සේවය සඳහා යොදවාගෙන ඇති බවත්, ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයකින් සහ සම්මුඛ පරීක්ෂණයකින් තොරව කිසිදු නිලධාරියෙකු ගුරු සේවයට සෘජුව අන්තර්ග්‍රහණය කිරීමේ හැකියාවක් නොමැති බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

කෙසේ වෙතත්, මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් වන තෙක් පාසල් පද්ධතියේ දැනට සේවය කරන සංවර්ධන නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් තාවකාලිකව අත්හිටුවන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

ප්‍රමුඛතාවය හිමිවන දරුවන්ගේ අධ්‍යාපන ගුණාත්මකභාවය තහවුරු කිරීම, දැනට දුෂ්කර පාසල්වල පවා සේවය කරන සංවර්ධන නිලධාරීන්ට සාධාරණයක් ඉටු කිරීම සහ අලුතින් උපාධිය ලබා ගුරු වෘත්තියට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම යන පාර්ශවයන් 3 කෙරෙහිම අවධානය යොමු කරමින් මෙම සංකීර්ණ තත්ත්වය රජය විසින් සූක්ෂමව සහ අධීක්ෂණය කරමින් කළමනාකරණය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *