මිනිස් පරිභෝජනයට නුසුදුසු සත්ත්ව කිරිපිටි විකිණූ ආහාර නිෂ්පාදකයාට කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දඩුවම්…
සත්ත්ව ආහාර නිෂ්පාදකයෙකු වූ කුලියාපිටිය හෙට්ටිපොල පාර නිව් ප්‍රේමා ඇනිමල් ෆීඩ්ස් මනුෆැක්චර්ස් ආයතනයේ ධනුෂ්ක ඉන්දික බණ්ඩාර සුබසිංහ යන අය සත්ත්ව ආහාර සඳහා නිකුත්කළ කිරිපිටි යොදාගනිමින් ව්‍යාජ තොරතුරු සඳහන් කර මනුෂ්‍ය පරිභෝජනයට නැවත ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මගින් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවකට අදාළව මාස 04 බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 10,000ක දඩ මුදලක් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර ඇත. ලද තොරතුරු වලට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2019.01.12 දිනයේ අදාළ ආයතනයේ වැටලීමක් සිදුකර ඇති අතර එහිදී, අදාළ ව්‍යාපාරිකයා විසින් සත්ත්ව කිරිපිටි මෙට්‍රික් ටොන් 200 ක් පමණ මිලදීගෙන ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් 40 ක් පමණ එම අවස්ථාව වන විටත් අයිස් ක්‍රීම්, යෝගට් හා බිස්කට් නිෂ්පාදනය සඳහා අලෙවිකර අවසන්ව තිබී තිබේ.ඒ අනුව, ඔහුට එරෙහිව 2019 ජනවාරි මස 18 දින කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ දී මෙලෙස නඩු පවරා ඇති අතර වසර 5ක පමණ දීර්ඝ නඩු විභාගයකින් පසුව අදාළ ව්‍යාපාරිකයා වරදකරු බවට අධිකරණය මගින් තීන්දු කර ඇත.අදාළ භාණ්ඩ තොගය වන පරිභෝජනයට නුසුදුසු සත්ත්ව කිරිපිටි මෙට්‍රික් ටොන් 160 ක ප්‍රමාණයක් වන අතර අධිකරණයේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමටද නියම කරන ලදී.


