හිටපු FCID ප්‍රධානී රවී වෛද්‍යාලංකාරට එරෙහිව කෝටි 5.5 ක අල්ලස් පැමිණිල්ලක්

එෆ්.සී.අයි.ඩී. හිටපු ප්‍රධානී රවි වෛද්‍යාලංකාරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්: කෝටි 7200ක කළු සල්ලි ජාවාරමක නඩුව යටගැසීමට කෝටි 5.5ක අල්ලස් ගත් බවට චෝදනා!

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) හිටපු ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනිල් රවීන්ද්‍ර වෛද්‍යාලංකාර විසින් ඇමරිකාවේදී මුදල් විශුද්ධිකරණයට වරදකරු වූ මහා පරිමාණ ජාවාරම්කාරයෙකුගෙන් අල්ලස් ලබාගෙන අධිකරණයේ පැවැති නඩුවක් යටගැසූ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් 2026 සැප්තැම්බර් 01 වන දින මෙම පැමිණිල්ල යොමු කර ඇත.

ඇමරිකානු මූල්‍ය අපරාධ විමර්ශන ජාලය (FINCEN) ලබාදුන් තොරතුරුවලට අනුව, රියන්සි එඩ්වඩ්ස් නමැත්තා ශ්‍රී ලංකාව තුළ සමාගම් තුනක් හරහා නීති විරෝධී ලෙස රුපියල් මිලියන 7,246ක (කෝටි 724කට වැඩි) මුදලක් ගෙනැවිත් විශුද්ධිකරණය කර ඇති අතර, එම මුදල් යොදවා රුපියල් මිලියන 5,827ක් වටිනා අධි සුඛෝපභෝගී ඉඩම් කොටස් 18ක් සහ වාහන 28ක් මිලදී ගෙන තිබේ. ඒ අනුව FCID/144/2015 යටතේ පරීක්ෂණ ආරම්භ කර 2015 අගෝස්තු මාසයේදී සැකකරුවන්ගේ ගමන් බලපත්‍ර සහ දේපළ තහනම් කිරීමට FCIDය කටයුතු කර තිබිණි.

කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ යටගැසීම සඳහා සූක්ෂම ලෙස අල්ලස් ගනුදෙනුවක් සිදුකර ඇති බවට පැමිණිල්ලෙන් චෝදනා කෙරේ. FCID ප්‍රධානියාගේ පුත් අසේල වෛද්‍යාලංකාර විසින් 2015 ඔක්තෝබර් මාසයේදී ‘මැලෝස් කන්සල්ටින්’ සමාගම ලියාපදිංචි කර ඇති අතර, 2016 පෙබරවාරි මාසයේදී රියන්සි එඩ්වඩ්ස්ගේ බිරිඳ සහ රවි වෛද්‍යාලංකාරගේ බිරිඳ අධ්‍යක්ෂවරියන් ලෙස පත්කරමින් ‘සූර්යා ඉන්ටර් නැෂනල්’ සමාගම ලියාපදිංචි කර ඇත. ඉන් දින කිහිපයකට පසු FCID ප්‍රධානියාගේ පුතු විසින් කොළඹ 03 ‘මොනාක් රෙසිඩන්සීස්’ හි රුපියල් මිලියන 52ක් (කෝටි 5කට වැඩි) වටිනා සුඛෝපභෝගී මහල් නිවාසයක් මිලදී ගෙන ඇති අතර, අදාළ සමාගමේ ලිපිනය ලෙසද යොදවා ඇත්තේ එම නිවාසයමය.

මෙම ගනුදෙනුවලින් පසු ස්වකීය බලතල අවභාවිත කරමින් ප්‍රධාන සැකකාර රියන්සි එඩ්වඩ්ස් නඩුවෙන් නිදහස් කිරීමටත්, තහනම් කර තිබූ ගමන් බලපත්‍ර, දේපළ සහ වත්කම් සියල්ල නිදහස් කිරීමටත් FCID ප්‍රධානියා කටයුතු කර ඇති බව පැමිණිල්ලේ දැක්වේ.
2023 අංක 09 දූෂණ විරෝධී පනතට අනුව මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වා අදාළ දේපළ රාජසන්තක කිරීමටත්, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටින අතර, මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගන්නා ඉදිරි පියවර දෙස සමස්ත රටම අවධානයෙන් පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *