අපේ මන්ත්‍රීවරු දෙන්නෙක් අතුරුදන්.පැරදුණේ බහුතරය නැති නිසා නෙමෙයි – රීසා සරූක්

nagarasabawa

අපේ මන්ත්‍රීවරු දෙන්නෙක් අතුරුදන්.පැරදුණේ බහුතරය නැති නිසා නෙමෙයි – රීසා සරූක්

කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්වූ පාලක ජාතික ජන බලවේගය දෙවනවරට ඉදිරිපත් කිරීමේදී ජය ගත් ආකාරය නගරාධිපතිතුමිය සිය හෘද සාක්ෂියට තට්ටු කර විමසා බැලිය යුතු බව විපක්ෂය පවසනවා.

කොළඹ මහ නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන සභික රීසා සරූක් සඳහන් කළේ, අයවැය පරාජය කිරීමට නොහැකි වුයේ විපක්ෂයට බහුතරය නොමැති නිසා නොව සිය මන්ත්‍රීවරුන් සභාවේ නොසිටි නිසා බවයි.

එහිදී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතුරුදන්වී ඇති බවත් තවත් මන්ත්‍රීවරයෙකුට පෞද්ගලික හේතුවක් නිසා ඡන්දය විමසීමට පෙර සභාවෙන් නික්මයෑමට සිදුවූ බවත් ඔහු සඳහන් කළ අතර තවත් අයෙකුව නාරාහේන්පිට පොලීසියෙන් රඳවාගෙන සිටි බවටද ඔහු චෝදනා කර සිටියා.

කොළඹ මහ නගර සභාවේ සභික රීසා සරූක්,

“කොළඹ අයවැය අද පාලක පක්ෂය ජයග්‍රහණය කළා. අපේ මන්ත්‍රීවරයෙක්ව නාරාහේන්පිට පොලීසියෙන් උදෙන්ම ගෙදර ගිහින් අරගෙන රඳවගෙන තිබ්බා. තවත් මන්ත්‍රීවරු දෙන්නෙක් අතුරුදන්. ගෙදරත් ගිහින් බැලුවා ඒ මන්ත්‍රීවරුන් දෙදෙනා නැහැ. එතකොට එතනත් අපිට ඡන්ද 2ක් නැහැ. ඒ වගේම තවත් මන්ත්‍රීතුමෙකුගේ භාර්යාවට හෘදයාබාධයක් කියලා ඡන්දය භාවිත කිරීම කිට්ටු කරලා එතුමට නික්ම යන්න වුණා. ඒ වගේම අපිත් එක්ක හිටපු මන්ත්‍රීතුමියක් ඡන්දය පාවිච්චි කළේ ආණ්ඩු පක්ෂයට. අපිට හිතාගන්න පුළුවන් මොකක්ද මෙතන වෙලා තියෙන්නේ කියලා.

එදා පළමුවර අයවැය පරාජයට පත්වූ මොහොතේ නගරාධිපතිතුමිය ප්‍රකාශ කළා හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න කියලා අපි එතුමියට කියනවා. අද දිනයේ බහුතරය ලබාගත්තේ කොහොමද කියලා තට්ටු කරලා අහන්න.අපිට බහුතරය නැති නිසා නෙමෙයි අපි අද පැරදුණේ. මන්ත්‍රීවරුන් මෙතන නොසිටි නිසා තමයි අපි පරාජයට පත් වුණේ. අපි ඉදිරියටත් අපේ බහුතරය රැක ගනිමින් අපේ කටයුතු කරනවා.”

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ඊයේ(31) ජයග්‍රහණය කළා.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිවූ අතර, විපක්ෂව හිමිවූයේ ඡන්ද 56ක් පමණයි.

කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය දෙසැම්බර් 22 වැනිදා සභාවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී එය පරාජයට පත්වුණා.

පළමු වර අයවැයට විපක්ෂව ඡන්ද 60ක් එහිදී හිමි වූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණයි.

එවන් පසුබිමක ඊයේ දිනයේදී යළිත් වරක් කොළඹ මහ නගර සභාවේ අයවැය නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවැනිවරට පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *