බෙංගාල බොක්කේ පීඩන අවපාතය තීව්‍ර වෙයි

bengallaa

බෙංගාල බොක්කේ පීඩන අවපාතය තීව්‍ර වෙයි

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට 490 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනා.

එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 24 තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අද (08) දින සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ධිවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සුළං ඊසාන දෙසින් හමා එන අතර, සුළගේ වේගය පැ.කි.මී. 35-45ක පමණ වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70ක් දක්වා ඉහළ යා හැකි බව එම නිවෙදනයේ සඳහන්.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා රළු වනවා.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *