මාදැල් ධීවරයන් මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින්, ඒ පිළිබඳ අවසන් තීරණයක් ලබන 27 වැනිදා තෙක් ප්‍රකාශ කළ නොහැකි බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා.
ධීවර අමාත්‍යාංශයේ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, නඩු තීන්දුවෙන් පසුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට රජය සූදානම් බවයි.
2015 යහපාලන රජය සමයේ එවකට සිටි ධීවර අමාත්‍යවරයා විසින් විශේෂ සටහනක් මගින් මාදැල් 72ක් සඳහා ට්‍රැක්ටර් යොදාගෙන වින්ච් යන්ත්‍ර මගින් දැල් ඇදීමට අවසර දී ඇති බව රත්න ගමගේ මහතා අනාවරණය කළා.
මෙම ක්‍රමය මගින් කිලෝමීටර් 4ක් 5ක් වැනි දුරකට බරුව එල්ලා දැල් දැමීම නිසා ඇතිවන අධික ආතතිය හේතුවෙන්, මුහුදු පතුලේ ඇති කොරල්පර, ප්‍රවාංග සහ පෙද පාසි පවා විනාශ වෙමින් ඇදී එන බව රත්න ගමගේ මහතා පෙන්වාදෙනවා .
හිටපු අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර සහ වෙඳආරච්චි යන මහත්වරුන් අනියම් ලෙස බොටම් ට්‍රැව්ලින් ක්‍රමවේදයට අහිංසක ධීවරයන් කොටු කර ඇති බවත්, වර්තමානයේ උද්ගතව ඇති මෙම ගැටලුකාරී තත්ත්වයට යහපාලන රජය වගකිවයුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.


