ඇමති ලාල් මහනුවරට බායි කියයි
තමා මින් ඉදිරියට කිසිදු අවස්ථාවක මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය. මහනුවර දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලීමෙන් ඉවත් වුවද, තමා අඛණ්ඩවම ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
රටට සේවය කිරීමට දේශපාලනය කිරීමට පාර්ලිමේන්තුවටම යාම අවශ්‍ය නොවන බව පෙන්වා දුන් ඒ මහතා, ජනාධිපතිවරයා විසින් කරන ලද දැඩි බලකිරීමක් මත පමණක් මෙවර මහනුවරින් ඡන්දයට ඉදිරිපත් වූ බවත්, තමා සාමාන්‍යයෙන් ඡන්දය ඉල්ලීමට කිසිසේත්ම කැමැත්තක් නොදක්වන බවත් පැවසීය. පාක්ෂිකයෙකු ලෙස පක්ෂය අතහැර නොයන බවත්, පක්ෂය කඩාගෙන බොහෝ පිරිස් ගියද තමන් කිසි දිනක සෙලවුණේවත් නැති බවත් ඔහු සඳහන් කළේය. පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කිසි දිනක ඡන්දය ඉල්ලා නොමැති වුවද වසර ගණනාවක් තිස්සේ ක්‍රියාකාරී දේශපාලනයේ නියැලී සිටින බවද ඔහු උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේය.
වත්මන් රජය දිගු කලක් රට පාලනය කරනු ඇති බවත්, තවදුරටත් රජයට අභියෝග කිරීමට තරම්වත් ප්‍රබල විපක්ෂයක් පෙනෙන තෙක් මානයක නොමැති බවත් අමාත්‍ය ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා හෝ දරන නිල තනතුරු මින් ඉදිරියට වෙනස් වුවද, ආණ්ඩුව කිසිසේත්ම වෙනස් නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. එමෙන්ම, කොට්ඨාස සීමා නිර්ණ ගැටලුව නිරාකරණය වූ වහාම පළාත් සභා මැතිවරණය පවත්වන බවත්, ඉදිරියේදී ජනතාවට සහන ලබා දීම සඳහා සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


