හෙට විශේෂ රථවාහන සැලැස්මක්

31 parwl

2026 නව වසර සැමරීම වෙනුවෙන් හෙට (31) දින ගාලු මුවදොර ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන වෙත විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පොලීසිය පවසනවා.

මේ හේතුවෙන් සිදුවිය හැකි රථවාහන තදබදය පාලනය කිරීමට සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් නිලධාරීන් 1,200 ක් යොදවා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව පොලීසිය සඳහන් කළා.

විශේෂයෙන්ම කොළඹ නගරයේ කොටුව සහ පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ මරදාන, කොල්ලුපිටිය සහ බම්බලපිටිය සහ කුරුඳුවත්ත පොලිස් වසම් තුළ අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බවට හඳුනාගෙන තිබෙනවා.

හෙට දිනයේ මාර්ග පද්ධතිය සාමාන්‍ය පරිදි විවෘතව පවතින නමුත්, දැඩි තදබදයක් ඇති වුවහොත් පමණක් පහත සඳහන් පරිදි රථවාහන හැසිරවීමට නියමිත බව පොලීසිය පැවසුවා.

එන්.එස්.ඒ. වටරවුම හරහා ගාලු මැද පාර ඔස්සේ පැමිණ, බාලදක්ෂ මාවත (එම්.ඕ.ඩී) හන්දියෙන් වමට හැරී, අලියා නාන වටරවුම සහ මාකන් මාකර් මාවත හරහා කොල්ලුපිටිය දෙසට ගමන් කළ යුතුයි.

ගාලු මුවදොර වටරවුමේ සිට කොළඹට ඇතුළු වන වාහනවලට බාලදක්ෂ මාවත හන්දිය දක්වා සහ ඉන් ඉදිරියට ගමන් කළ හැකියි.

ගාලු මුවදොර වටරවුමේ සිට මාකන් මාකර් මාවත හරහා අලියා නාන වටරවුම දෙසට හෝ අලියා නාන වටරවුමේ සිට බාලදක්ෂ මාවත හරහා ගාලු මැද පාරට ගමන් කිරීමට අවසර හිමි නොවේ.

ජම්පටා වීදියේ වෙඩි තැබීමක්
බාලදක්ෂ මාවතේ අතුරු මාර්ග වලින් පැමිණෙන වාහන දකුණට හැරී අලියා නාන වටරවුමෙන් පිටවිය යුතු අතර, ගාලු මැද පාරේ අතුරු මාර්ග වලින් පැමිණෙන වාහන දකුණට හැරී එන්.එස්.ඒ වටරවුම දෙසට ගමන් කළ යුතුයි.

එමෙන්ම ප්‍රධාන මාර්ගවල හෝ පදික වේදිකාවල රථවාහන අවහිර වන ලෙස නතර කර තැබීම සපුරා තහනම් වන අතර, එවැනි රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ලබන බව පොලීසිය පවසනවා.

මෙසේ කොළඹට පැමිණෙන රථවාහන 5,900 ක් පමණ ගාල් කිරීම සඳහා ස්ථාන කිහිපයක් වෙන් කර තිබෙනවා.

නොමිලේ ගාල් කළ හැකි ස්ථාන:

බාලදක්ෂ මාවත එම්.ඕ.ඩී. රථගාල.
කොල්ලුපිටිය, බම්බලපිටිය සහ වැල්ලවත්ත මුහුදුබඩ මාර්ගය.
ඩී.ආර්. විජේවර්ධන මාවත (කොටුව සහ මරදාන).
කොල්ලුපිටිය බගතලේ පාරේ සිට වැල්ලවත්ත සැවෝයි දක්වා ඇති ‘Parking Bays’.
ආනන්ද කුමාරස්වාමි මාවත, එෆ්.ආර්. සේනානායක මාවත, නිදහස් මාවත සහ මේට්ලන්ඩ් පෙදෙස (කුරුඳුවත්ත).
මුදල් අයකිරීමේ පදනම මත ක්‍රියාත්මක රථගාල්:

පැරණි මැනිං වෙළඳ සංකීර්ණ රථගාල (පිටකොටුව).
විමලධර්මසූරිය ඔර්ලෝසු කණුව අසල සහ ලේඩ්න් බැස්ටියන් මාවත (කොටුව).
රාසික් ෆරීඩ් මාවත හේමාස් රථගාල සහ ලේක් හවුස් රථගාල.
යූනියන් පෙදෙස ඇක්සස් ටවර් සහ ගාමිණි වටරවුම ශාන්ත ක්ලෙමන්ට් රථගාල.
මෙම රථවාහන සැලැස්ම වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා අදාළ සිතියම් 04 පරිශීලනය කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *