මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා අද (12) දිනයේ සිට පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසන අතර ඒ සඳහා දිවයිනේ මුළු ඡන්ද කොට්ඨාසවල පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64,000ක් පමණ පිරිසක් යෙදවීමට කටයුතු කරන බවද තවදුරටත් පවසයි.
“මුළු ඡන්ද කොට්ඨාස 13,314 සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,383ක් පිහිටුවලා තියෙනවා. මේ කාල සීමාව ආවරණය වන පරිදි අපි පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවනවා මැතිවරණය පැවැත්වෙන දිනයට හා පසු දිනයට හා අවශ්‍ය වුණොත් ඊට පසුවත්. පොලිස් නිලධාරීන් 64,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවනවා. ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 3,200ක් රාජකාරියේ යොදවන්න සුදානම් කරලා තියෙනවා. සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227 දෙනෙක් මැතිවරණය සඳහා ඍජුවම සම්බන්ධ වෙනවා. පොලිස් නිලධාරීන් පොරොත්තු සේවා නිලධාරීනුත් එක්ක 70,000කට ආසන්න සංඛ්‍යාවක් මැතිවරණය හා සම්බන්ධ වෙනවා. මීට අමතරව පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා යොදාගැනීම නිසාවෙන් හිස්වන මරමස්ථාන ආරක්ෂාවට යුද හමුදා නිලධාරීන් නිලධාරීන් 11,000කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගන්නවා. ඒ වගේම යම් අවශ්‍යතාවයක් වුණොත් යුද හමුදා නිලධාරී පොරොත්තු සේවයේ රැඳිලා ඉන්නවා.”
නිදහස් සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලීමක් කරන බව ද සඳහන් කළේය.


