ජාතික ලැයිස්තුව නම් කරන්න- මැතිවරණ කොමිෂන් සභාව දන්වයි….

election web 1 1

ජාතික ලැයිස්තුව මගින් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අදාළ පක්ෂ වෙත දැනුම්දී ඇත.

එම පක්ෂ ලේකම්වරුන් වෙත අදාළ දැනුම්දීම ඊයේ සිදු කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන ලදී.
මැතිවරණ ප්‍රතිඵල වලට අනුව ජාතික ජන බලවේගය, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 18ක් හිමි කර ගත් අතර එම අවසන් ලැයිස්තුව අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5ක් හිමි කර ගත් අතර එම මන්ත්‍රී ධුර සඳහා නියෝජිතයින් නම් කිරීම ඉදිරි දින කිහිපයේ සිදු කිරීමට නියමිතයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හිමිකරගත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 2කි. ඒ සඳහා පත් කරන නියෝජිතයින් පිළිබඳ සාකච්ඡාවක් කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේ දී ඊයේ පැවැත් විය.

මීට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දිනා ගත් අතර ඒ සඳහා පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පත් කරන බව පක්ෂ මහ ලේකම්වරයා ඊයේ ප්‍රකාශ කරන ලදී .

සර්ව ජන බලය පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ කවුරුන්දැයි හෙට දිනයේ දැනුම් දෙන බවද සදහන් වේ.
ඊලංගෛයි තමිල් අරුසු පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බැගින් දිනා ගත් අතර ඒ සඳහා පත් කරන නියෝජිතයා කවුරුන්දැයි මෙතෙක් ප්‍රකාශ කර නැත.

මැතිවරණ වියදම් වාර්තා භාර නොදෙන සියලු අපේක්ෂකයින්ට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.
මැතිවරණ වියදම් වාර්තා භාර නොදෙන සියලු අපේක්ෂකයින්ට එරෙහිව නඩු පැවරීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කල අතර මැතිවරණය අවසන් වී දින 21 ක් ඇතුලත සියලු අපේක්ෂකයින් සිය වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතු බව එම කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *