පසුගිය 2024 දෙසැම්බර් 31 දිනට අවසන් වන කාර්තුව තුළදී ලංකා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය 99% කින් පහළ ගොස් තිබෙන බවට වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම මූල්‍ය වාර්තාව මඟින් මණ්ඩලයේ ආදායම පහළ යාම සහ විකුණුම් පිරිවැය ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී ඇති බව පවසා ඇත.
ඒ අනුව, 2024 දෙසැම්බර් 31 දිනට අවසන් වන කාර්තුවේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම රු. බිලියන 111.80 ක් ලෙසින් වාර්තා වී ඇති අතර, එය 2023 සමාලෝචිත කාර්තුවේ ආදායම් අගය වූ රු. බිලියන 156.25ට වඩා 28% ක පහළ යාමක් ලෙස සටහන් වී ඇත.
එසේම 2023 දෙසැම්බර් කාර්තුවේදී රු. බිලියන 78.22 ක් ලෙසින් සටහන් වී තිබුණු මණ්ඩලයේ දළ ලාභය පසුගිය කාර්තුව තුළදී රු. බිලියන 4.49ක දළ අලාභයක් දක්වා 106% කින් පහළ ගොස් තිබෙන අතර, මණ්ඩලයට රු. බිලියන 3.04 ක මෙහෙයුම් අලාභයක් විඳ දරා ගැනීමට පසුගිය 2024 අවසන් කාර්තුවේදී සිදුව ඇති බවද සදහන් කර ඇත.
2024 දෙසැම්බර් කාර්තුව තුළදී වාර්තා කර ඇති ශුද්ධ ලාභය රු. මිලියන 603ක් වශයෙන් වාර්තා වී ඇති අතර, මෙය 2023 අවසන් කාර්තුවේ ශුද්ධ ලාභ අගය වූ රු. බිලියන 77.97ට වඩා 99% ක පහළ යාමක් බව වැඩිදුරටත් සඳහන් වේ.


