ඉන්දියාව සමඟ නව වෙළඳ ගිවිසුමකට එළැඹීමට තමන් එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කර තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ පැවැත්වූ විශේෂ දුරකථන සංවාදයකින් අනතුරුව මෙම තීරණයට පැමිණි බව ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළා.
මෙම නව සබඳතාවය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද සිය සතුට පළ කර තිබෙනවා.
මෙම ගිවිසුමට අනුව, ඉන්දියාවෙන් අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා මෙතෙක් පැවති 25% ක තීරු බද්ද 18% දක්වා සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට අමෙරිකානු රජය තීරණය කර ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ඉන්දියාව විසින් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නතර කිරීමට ගත් තීරණයත් සමඟ ට්‍රම්ප් පරිපාලනය මෙම බදු සහන ලබා දීමට සිය කැමැත්ත පළ කර තිබෙනවා.
අමෙරිකාව සමඟ මෙම ගිවිසුමට එළැඹීමට පෙර, ඉන්දියාව විසින් යුරෝපා සංගමය සමඟ ද දශක දෙකක පමණ සාකච්ඡාවලින් පසු පසුගියදා සාර්ථක වෙළඳ ගිවිසුමකට අත්සන් තබනු ලැබුවා.


