වෛද්‍යවරයෙකු යනු නිසි පුහුණුවක් සහ යහපත් පැවැත්මක් සහිත අයෙකු බව හඳුනා ගැනීමට ඇති ප්‍රධානතම සාධකය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචි අංකය සතු වීම බව එහි ලේඛකාධිකාරී වෛද්‍ය එච්.ඩී.බී. හේරත් මහතා පවසයි.
යම් වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචිය පිළිබඳව ඔබට ගැටලුවක් පවතී නම්, එය තහවුරු කර ගැනීමට ක්‍රම කිහිපයක් පවතී.වෛද්‍ය සභාවේ නිල වෙබ් අඩවියට පිවිස වෛද්‍යවරයාගේ නම ඇතුළත් කිරීමෙන් ඔහුගේ ලියාපදිංචි අංකය සොයාගත හැකිය. ඔබ දන්නා නම සහ වෙබ් අඩවියේ සඳහන් නම අතර සුළු වෙනස්කම් තිබිය හැකි බැවින් ලියාපදිංචි අංකය මගින් සෙවීම වඩාත් නිවැරදි වේ.වෙබ් අඩවියෙන් තොරතුරු සොයා ගැනීමට අපහසු නම් වෛද්‍ය සභාව වෙත විද්‍යුත් තැපෑලක් (Email) හෝ ලිපියක් යොමු කිරීමෙන් වෛද්‍යවරයෙකුගේ අනන්‍යතාව තහවුරු කර ගත හැකිය.
ලියාපදිංචි වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතී නම් වෛද්‍ය ආඥා පනතට අනුව පැමිණිලි කිරීමේ හැකියාව ඇත. පැමිණිල්ලක් නිසි පරිදි ඉදිරිපත් නොකළහොත් විභාග කිරීමේදී ගැටලු මතු විය හැකි බැවින් පහත ක්‍රමවේදය අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.
සිද්ධිය විස්තර කරමින් සකස් කළ ලිපියක් තිබිය යුතුය. අදාළ ලිපියේ සඳහන් කරුණු සත්‍ය බවට සහතික කරමින් දිවුරුම් පෙත්සමක් (Affidavit) ද ඒ සමඟ ඉදිරිපත් කළ යුතුය. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් වැනි නිලධාරීන්ට දිවුරුම් පෙත්සම් නොමැතිව පැමිණිලි කළ හැකිය.
ලියාපදිංචි නොවී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන අපරාධයකි. එවැනි ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳ පැමිණිලි කළ යුත්තේ පොලිසියට වන අතර ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහය සහ උපදෙස් ලබා දීමට වෛද්‍ය සභාව සූදානම්ව සිටී.


