ඉරාන ප්‍රහාරයෙන් ජෝර්දානයේ ඇමෙරිකානු මිසයිල ආරක්ෂණ රේඩාර් පද්ධතිය විනාශයි.

irana 1

මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු මිසයිල ආරක්ෂණ ජාලයේ අත්‍යවශ්‍ය කොටසක් ලෙස සැලකෙන Muwaffaq Salti Air Base ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කර තිබූ AN/TPY-2 radar පද්ධතියක් ඉරාන ප්‍රහාරයකින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයෙන් එම ස්ථානයේ තිබූ රේඩාර් පද්ධතිය සහ එයට සම්බන්ධ උපකරණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව තහවුරු වී ඇති අතර, පසුව ඇමෙරිකානු නිලධාරියෙකුද එම හානිය සිදුව ඇති බව පිළිගෙන ඇත.

මෙම රේඩාර් පද්ධතිය ඇමෙරිකානු Terminal High Altitude Area Defense (THAAD) මිසයිල ආරක්ෂණ පද්ධතියේ “ඇස්” ලෙස සැලකෙන අතර, බැලැස්ටික් මිසයිල වායුගෝලයේ ඉහළ මට්ටමේදී හඳුනාගෙන ඒවා විනාශ කිරීම සඳහා අත්‍යවශ්‍ය තොරතුරු සැපයීමේ කාර්යය ඉටු කරයි. එම පද්ධතියක වටිනාකම ඩොලර් මිලියන 300ක් පමණ වන බව වාර්තා වේ.

විශේෂඥයන් අනුව, මෙම රේඩාර් විනාශ වීම මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු හා මිත්‍ර රාජ්‍ය මිසයිල ආරක්ෂණ හැකියාවට දැඩි බලපෑමක් සිදු කර ඇත. ලෝකය පුරා ඇමෙරිකාව සතුව තිබෙන්නේ මෙවැනි THAAD බැටරි අටක් පමණක් වන අතර, එවැනි උසස් පද්ධතියක රේඩාර් කොටසක් අහිමි වීම මූලෝපායික වශයෙන් වැදගත් අලාභයක් ලෙස ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙම පද්ධතිය අක්‍රිය වීමත් සමඟ කලාපයේ මිසයිල ආරක්ෂාව දැන් බොහෝ දුරට MIM‑104 Patriot වායු ආරක්ෂණ පද්ධති මත රඳා පවතින බව වාර්තා වේ. එහෙත් එම පද්ධති සඳහා භාවිත වන PAC‑3 interceptor missile තොග දැනටමත් සීමිත බවත්, ඒ හේතුවෙන් ගල්ෆ් කලාපයේ අහස් ආරක්ෂාව ඉරාන මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර හමුවේ වැඩි අවදානමකට ලක්විය හැකි බවත් විශේෂඥයන් අනතුරු අඟවා ඇත.

එසේම, මීට පෙර කටාර් ඇතුළු කලාපයේ තවත් ඇමෙරිකානු රේඩාර් සහ සන්නිවේදන පද්ධති ඉරාන ප්‍රහාරවලට ලක්ව තිබූ බවත්, උසස් මිසයිල ආරක්ෂණ උපකරණ හා අන්තර්ග්‍රහණ මිසයිල තොග හිඟය පිළිබඳව සාකච්ඡා කිරීමට පෙන්ටගනය සහ ධවල මන්දිරය අතර හදිසි සාකච්ඡා පැවැත්වී ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *