මුස්ලිම් කාන්තාවන් රෝහල් තුළ හිජාබය පැළඳීම ප්‍රශ්නයක් කර ගත යුතුද?

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබ් භාවිතය සහ ගෝලීය තත්ත්වය
ලෝකයේ විවිධ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු මුස්ලිම් කාන්තාවන් හිජාබය පැළඳීම සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන රෙගුලාසි සහ ප්‍රතිපත්ති පිළිබඳව වර්තමානයේ දැඩි අවධානයක් යොමුව තිබේ. සංස්කෘතික, ආගමික මෙන්ම සෞඛ්‍යාරක්ෂිත හේතූන් මත විවිධ රාජ්‍යයන් මේ සඳහා වෙනස් ප්‍රවේශයන් අනුගමනය කරන බව නිරීක්ෂණය වේ.
ප්‍රංශය වැනි ඇතැම් බටහිර රටවල පවතින දැඩි “ලෞකිකත්ව” (Laïcité) නීති රාමුව හේතුවෙන් රාජ්‍ය රෝහල්වල සේවය කරන සෞඛ්‍ය සේවකයන්ට ආගමික සංකේත හෝ හිස ආවරණ පැළඳීම සීමා කර ඇත. එසේම කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ පවතින රාජ්‍ය සේවා ආගමික සංකේත පිළිබඳ පනත (Law 21) යටතේ ද සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු රාජ්‍ය අංශයේ සේවකයන්ගේ හිස ආවරණ භාවිතය පිළිබඳව සීමාවන් සහ නීතිමය සංවාදයන් නිර්මාණය වී පවතියි.
කෙසේ වෙතත්, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි ලොව ප්‍රමුඛ රටවල් රැසක සෞඛ්‍ය සේවකයන්ට තමන්ගේ ආගමික විශ්වාසයන්ට අනුකූලව හිජාබය පැළඳීමේ අයිතිය තහවුරු කර ඇත. එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) ඇතුළු ආයතන මගින් සෞඛ්‍යාරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි සකස් කළ, එක් වරක් පමණක් භාවිත කර ඉවත් කළ හැකි වෛද්‍ය හිජාබ් (Disposable Medical Hijabs) සහ ශල්‍යාගාර සඳහා විශේෂිත විෂබීජහරණය කළ හිස ආවරණ පවා සේවකයන් වෙත හඳුන්වා දී තිබේ.
මෙලෙස හිජාබය පැළඳීමට අවසර හිමි වන රටවල ද ප්‍රධාන වශයෙන් සෞඛ්‍යාරක්ෂිත සහ ආසාදන පාලන (Infection Control) නිර්ණායකයන්ට යටත්ව කටයුතු කිරීමට සේවකයන් බැඳී සිටී. එහිදී රෝගී ආරක්ෂාව උදෙසා පහසුවෙන් පිරිසිදු කළ හැකි හෝ මාරු කළ හැකි රෙදි වර්ග භාවිත කිරීම, ශල්‍යාගාර සදහා විශේෂිත ආවරණ පැළඳීම සහ “වැලමිටෙන් පහළ කොටස නිරාවරණය තැබීමේ” සෞඛ්‍ය නීති අනුගමනය කිරීම අනිවාර්ය වේ. එසේම, රෝගීන් සමඟ සන්නිවේදනය සහ නිවැරදිව හැඳුනුම්පත තහවුරු කරගැනීම සඳහා මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන නික්වාබ් (Niqab) වෙනුවට, මුහුණ නිරාවරණය වන හිජාබ් (Hijab) භාවිතයට පමණක් මෙම රෝහල් පද්ධති තුළ ඉඩප්‍රස්ථාව ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *