ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවීම් සමස්ත අධිකරණ ක්ෂේත්‍රයම කැළඹෙයි

නඩු 3,102ක ලේඛන අතුරුදහන් වීම් සහ ක්ලේමෝ බෝම්බයක් හමු වීම පිළිබඳ විශේෂ විමර්ශනයක්

ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වන බරපතල පරිපාලනමය අක්‍රමිකතා, නඩු ලේඛන අතුරුදහන් වීම් සහ ආරක්ෂක බිඳවැටීම් කිහිපයක් හේතුවෙන් සමස්ත අධිකරණ ක්ෂේත්‍රය තුළ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන තිබේ. අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නියෝග මත සිදුකළ විශේෂ පරීක්ෂාවන්හිදී අදාළ අධිකරණයේ තිබී නඩු 3,102කට අදාළ ලේඛන අතුරුදහන් වීම, නඩු භාණ්ඩ 8,278ක් වාර්තාවලින් සඟවා තිබීම සහ නඩු භාණ්ඩ ගබඩාවේ තිබී කිලෝ 20ක සක්‍රීය ක්ලේමෝ බෝම්බයක් සොයාගැනීම ඇතුළු තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර, මෙම සිදුවීම් සම්බන්ධයෙන් එවකට එහි ප්‍රධාන මහේස්ත්‍රාත් ධූරය දැරූ චතුරිකා ද සිල්වා මහත්මිය වෙත චෝදනා එල්ල වී ඇත.

මෙරට අධිකරණ පද්ධතිය තුළ විසඳීමට නොහැකිව නඩු එකොළොස් ලක්ෂයක් පමණ ගොඩගැසී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෑතකදී කළ ප්‍රකාශයත් සමඟ පුළුල් කතාබහක් මතුවූ අතර, ඊට ප්‍රධානතම හේතුවක් ලෙස අධිකරණ පද්ධතිය අභ්‍යන්තරයේ පවතින මෙවැනි පරිපාලනමය අකර්මණ්‍යතාවන් සහ නොසැලකිලිමත්කම් පෙන්වා දිය හැක. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවූ අක්‍රමිකතා අනාවරණය වීමත් සමඟ අදාළ මහේස්ත්‍රාත්වරිය කැස්බෑව අධිකරණය වෙත මාරු කර යැවූ අතර, පසුව පත් වූ මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සහ එවකට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය විසින් සිදුකළ නැවත පරීක්ෂාවන්හිදී හෙළි වී ඇත්තේ දීර්ඝ කාලයක සිට නඩු රෝල් පොත සහ දින පොත යාවත්කාලීන කර නොමැති බවයි. එමඟින් නඩු 3,102ක ඉදිරි පියවර අඩපණ වී ඇති අතර, යම් කිසි පාර්ශ්වයකට සෙත සැලසීමේ අරමුණින් නඩු යටගැසීමට මෙලෙස කටයුතු කළේද යන්න පිළිබඳව සැක පහළ වේ.

එසේම, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නියෝග මත නඩු භාණ්ඩ පිළිබඳව අදාළ මහේස්ත්‍රාත්වරිය මුලින් ඉදිරිපත් කළ වාර්තාවේ නඩු භාණ්ඩ 677ක් පමණක් දක්වා තිබුණද, පසුව සිදුකළ විමර්ශනවලදී වසා දමා තිබූ කාමර දෙකක් ඇතුළුව සමස්ත නඩු භාණ්ඩ 8,955ක් සොයාගැනීමට හැකි විය. ඒ අනුව රත්තරන් භාණ්ඩ, මත්පැන්, මුතු මැණික් සහ සුඛෝපභෝගී වාහන 4ක් ඇතුළුව නඩු භාණ්ඩ 8,278ක් නිල ලේඛනවලට ඇතුළත් නොකර සඟවා තිබූ බව තහවුරු විය. වඩාත් බරපතල කරුණ වන්නේ එම ගබඩාවේ තිබී හමු වූ කිලෝ 20ක ක්ලේමෝ බෝම්බය වන අතර, දිනකට සිය ගණනක් ගැවසෙන ජනාකීර්ණ අධිකරණ භූමියක් තුළ සිදුවීමට ගිය දැවැන්ත විනාශයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය මැදිහත් වී වළක්වා ගැනීමට සමත් විය. අදාළ මහේස්ත්‍රාත්වරියට එරෙහිව පරීක්ෂණ ආරම්භ වීමත් සමඟ ඇය විනිසුරුවරුන්ගේ යම් කණ්ඩායම් සහ විපක්ෂ දේශපාලන බලවේග සමඟ එකතු වී ක්‍රියාකරන බවටද තොරතුරු වාර්තා වන අතර, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම වෙනුවෙන් විනිසුරුවරුන් කිසිදු දේශපාලන බලපෑමකට යට නොවී වගකීමෙන් කටයුතු කිරීමේ අත්‍යවශ්‍යතාව මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *