ලාංකීය නාමය ඇමරිකාවේ බැබල වූ ලුතිනන් කමාන්ඩ පියුමි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කොමාණ්ඩර් පියුමි කත්‍රිආරච්චි මහත්මිය, ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ මොන්ටෙරි නගරයේ පිහිටි එක්සත් ජනපද නාවික පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයෙන් (U.S. Naval Postgraduate School – NPS) ‘ආරක්ෂක සැපයුම් දාම කළමනාකරණය’ (Defence Logistics Management) පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය 4.00කින් 3.98ක විශිෂ්ට GPA අගයක් ලබාගෙන සම්පූර්ණ කර ඇත.
ඇගේ අධ්‍යයන දක්ෂතාව ඇගයීමට ලක් කරමින්, එම ආයතනයෙන් විශිෂ්ටතම නිබන්ධනය සඳහා වන NPS Outstanding Thesis Award සම්මානය ද පිරිනමන ලදී. එමෙන්ම, වසරකට NPS හි ජාත්‍යන්තර සිසුන් දෙදෙනෙකුට පමණක් පිරිනමන Kiwanis Club of Monterey Outstanding International Student Award සම්මානය ද ඇයට හිමි විය.
ඇගේ සම්මානලාභී නිබන්ධනය, ශ්‍රී ලංකා නාවික හමුදාව මුහුණ දෙන අමතර කොටස් අත්පත් කර ගැනීමේ අභියෝග පිළිබඳව අධ්‍යයනයක් වූ අතර, එය නාවික සූදානම ශක්තිමත් කිරීමට යොදාගත හැකි ප්‍රායෝගික දැනුමක් ලබා දෙන බව ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවියක වන ඇයගේ මෙම පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා අරමුදල් සපයන ලද්දේ, ඇමරිකානු රජයේ ජාත්‍යන්තර මිලිටරි අධ්‍යාපන හා පුහුණු (IMET) වැඩසටහන මගිනි.
ඇගේ උපාධිය නිල වශයෙන් පිරිනැමීම, කොළඹ ඇමරිකානු මධ්‍යස්ථානයේදී ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් මයියර් මහතා විසින් සිදු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *