ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිළධාරීන්ට ලිපි ප්රදානය කරයි.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්රදානය ඊයේ (26) දින කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සහ කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කෘෂිකර්ම අමාත්යාංශීය ශ්රවණාගාරයේදී පැවැත්විණ.
මෙහිදී පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරමින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා සඳහන් කළේ ජනතා අපේක්ෂාවන් සංකීර්ණ බවත්, අවබෝධයෙන් කාර්යක්ෂම කටයුතු කළ යුතු බවයි. අමාත්යාංශයේ ලේකම් ඩී.පී. වික්රමසිංහ මහතා ප්රකාශ කළේ රාජ්ය සේවය තුලින් ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීම ඉතා වැදගත් කාරණයක් බවත් ඒ වෙනුවෙන් නිළධාරීන් කැපවීමෙන් කටයුතු කල යුතු බවයි.
නවක පත්වීම්ලාභීන් අමතමින් කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා සිය අදහස් පළ කළේය.
“අපිට තිබෙන විශාල ගැටළුවක් තමයි තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය. වර්තමාන ආණ්ඩුව රාජ්ය සේවය ශක්තිමත් කරන ප්රතිපත්තියක තමයි ඉන්නේ. පසුගිය රජය රජය 2016න් පස්සේ රාජ්ය සේවයට බැඳෙන අයගේ විශ්රාම වැටුප අහෝසි කළා. බඳවා ගැනීම් සීමා කළා. මේ තත්ත්වය තුළ රාජ්ය සේවය තුළ නිලධාරීන් හිඟයක් ඇති වුණා. අපි ආණ්ඩු බලය ලබා ගත්තට පස්සේ රාජ්ය සේවයේ බඳවා ගැනීම් සිදු කළා. පත්වීම් ස්ථීර කළා.
රජයේ ආයතනවල තිබෙන්නේ අවම පහසුකම්. ඒ පහසුකම් වැඩිදියුණු කළ යුතුයි. රාජ්ය සේවයට ආසාවෙන් බැඳෙන පරිසරයක් නිර්මාණය කළ යුතුයි. එතකොට තමයි නිලධාරීන්ගෙන් හොඳ මහජන සේවයක් ලබාගන්න පුළුවන්. රාජ්ය සේවකයා අසතුටෙන් නම් පීඩනයෙන් නම් ඒවා මුදා හරින්නේ තමන්ගෙන් සේවය ලබා ගන්න එන මහජනයා වෙතයි.
අද පත්වීම් ලබන ඔබට කටයුතු කරන්න සිද්ද වෙන්නේ මහපොළව සමඟ කටයුතු කරන මිනිසුන් සමඟයි. ඒ මිනිසුන් සමඟ බද්ධ වෙලා කටයුතු කරන්න. එතකොට ඔබ පෙළඹෙනවා රාජකාරියෙන් ඔබ්බට ගොස් කටයුතු කරන්න. ”
මෙම අවස්ථාවට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම නවක පත්වීම්ලාභීන් සහ ඔවුන්ගේ ඥාතීන් ද එක්විය.


