මහ ඇමතිගේ උපදේශක තනතුරට ප්‍රකට ජෝතිර්වේදියෙක්

world bank Recovered Recovered Recovered 3

පසුගියදා තමිල්නාඩුවේ මහ ඇමැතිවරයා ලෙස පත් වූ ජෝසප් විජේ (සුපිරි නළු විජේ) මහතා විසින් තම උපදේශකයකු ලෙස පත් කළ ප්‍රකට ජ්‍යොතීර්වේදී රිකී රාධන් පණ්ඩිත් වෙට්‍රිවේල්ගේ පත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ. රාජ්‍ය පාලනය සහ දේශපාලන තීන්දු තීරණ සඳහා ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය ඈඳා ගැනීමට එරෙහිව මහ ඇමැතිවරයාගේ සහායක දේශපාලන සගයන්ගෙන් සහ විපක්ෂයෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් මෙම පත්වීම ලබා දී පැය 24ක් ඇතුළත එය ඉල්ලා අස්කර ගැනීමට රජයට සිදු විය. ඉන්දීය දේශපාලන ක්ෂේත්‍රය තුළ නායකයන් ජ්‍යෝතිර්වේදීන් කෙරෙහි පෞද්ගලිකව විශ්වාසය තැබීම සාමාන්‍ය සිරිතක් වුව ද, රාජ්‍ය මට්ටමේ නිල උපදේශක ධුරයකට මෙලෙස ජ්‍යොතීර්වේදියකු පත් කිරීමට එරෙහිව ප්‍රාන්තය තුළ දැඩි දේශපාලන සහ සමාජයීය කතාබහක් නිර්මාණය වී ඇත.
මහ ඇමැති විජේගේ දේශපාලන පක්ෂය වන ‘තමිල්නාඩු වෙට්‍රි කසාගම්’ (TVK) ආරම්භ කළ වේලාව, පක්ෂයේ නම සහ දිවුරුම් දීමේ උත්සවයේ නැකත් වේලාවන් පවා තීරණය කර තිබුණේ විජේගේ සමීපතම විශ්වාසවන්තයකු වූ පණ්ඩිත් වෙට්‍රිවේල් විසිනි. පසුගිය මැතිවරණයට පෙර ඔහු කළ අනාවැකි අනුව TVK පක්ෂය තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 234න් ආසන 108ක් දිනා ගනිමින් ප්‍රබල දේශපාලන පෙරළියක් සිදු කිරීමට සමත් වීමත් සමග මෙම සබඳතාවය වඩාත් දැඩි විය. වෛදික ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය සහ සංඛ්‍යා ශාස්ත්‍රය පිළිබඳ වසර 40කට වැඩි පළපුරුද්දක් ඇති පණ්ඩිත් වෙට්‍රිවේල්, මීට පෙර ඉන්දීය දේශපාලන දැවැන්තයකු වූ එල්.කේ. අද්වානි, හිටපු මහ ඇමැතිනි ජයලලිතා සහ ප්‍රකට නිළි මනීෂා කොයිරාල ඇතුළු ඉහළ පෙළේ ප්‍රභූන් රැසකගේ පෞද්ගලික ජ්‍යොතීර්වේදියා ලෙස කටයුතු කර තිබීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත්, නවීන සහ විද්‍යාත්මක පාලන ක්‍රමවේදයක් අපේක්ෂා කරන තමිල්නාඩු දේශපාලන ප්‍රවණතාවය තුළ නිල රාජ්‍ය පත්වීමක් සඳහා මෙවැනි තේරීමක් සිදු කිරීම පක්ෂයේ ප්‍රතිපත්තීන්ට මෙන්ම ප්‍රගතිශීලී දේශපාලන සංස්කෘතියට පටහැනි බව විචාරකයෝ පෙන්වා දෙති. එල්ල වූ දැඩි දේශපාලන පීඩනය හමුවේ මහ ඇමැති විජේ මහතා ගත් මෙම පසුබැසීමේ තීරණය, නව රජය කෙරෙහි මහජන විශ්වාසය රැකගැනීම උදෙසා ගත් කඩිනම් උපායමාර්ගික පියවරක් ලෙස දේශපාලන විශ්ලේෂකයන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *