ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නව ක්‍රමවේදයට අනූව මාර්ග ආරක්ෂාව වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය විසින් CCTV කැමරා පද්ධති භාවිතයෙන් මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් හඳුනාගෙන දඩ නියම කිරීමේ ක්‍රමවේදයක් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතී.
මෙම ක්‍රමය යටතේ, මාර්ගවල ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් රථවාහන නීති කඩ කිරීම (උදාහරණයක් ලෙස – රතු ලයිට් කඩ කිරීම, අනවසර හැරවීම්, වේග සීමා උල්ලංඝනය කිරීම) සටහන් කරනු ලැබේ. එවැනි අවස්ථාවලදී ස්ථානීයව පොලිස් නිලධාරියෙකු විසින් වහාම රථය නවතා දඩ කොළයක් නිකුත් නොකළද, සටහන් වූ දත්ත අනුව අදාළ වාහන හිමිකරු හඳුනාගෙන දඩ කොළය තැපෑල මගින් නිවසට යැවීම සිදු කෙරේ.
විශේෂයෙන්ම කොළඹ සහ නගරාසන්න ප්‍රදේශ කිහිපයක මෙම CCTV නිරීක්ෂණ පද්ධති සක්‍රීයව භාවිතා වන අතර, රථවාහන නීති ක්‍රියාත්මක කිරීම වඩාත් කාර්යක්ෂම කර ගැනීමට මෙය උපකාරී වී තිබේ.
පොලිසිය පෙන්වා දෙන්නේ, මෙම ක්‍රමය මගින්:
මාර්ග අනතුරු අඩු කිරීමට, නීති පිළිපැදීම වැඩි කිරීමට, පොලිස් සම්පත් සුරකිමින් නිරීක්ෂණ වැඩි කිරීමට හැකි බවයි.
කෙසේ වෙතත්, මෙම ක්‍රමය පිළිබඳව මහජන දැනුවත්භාවය තවමත් සීමිත මට්ටමක පවතින බැවින් පොලිස් නිලධාරියෙකු ට නොසිටින අවස්ථාවල ජනතාව මාර්ග නීති කඩ කිරීමට පෙළඹේ. නමුත් ඉදිරියට රියදුරන් සිහි තබා ගත යුතු කාරණය වන්නේ, පොලිස් නිලධාරියෙකු නොසිටියද CCTV නිරීක්ෂණ යටතේ නීති කඩකිරීම් සටහන් විය හැකි බැවින් සැමවිටම මාර්ග නීති පිළිපදින්නට අවධානය යොමු නොකළහොත් තමන් සිදුකළ වරද වෙනුවෙන් දඩ කොළ නිවසටම ලැබිය හැකි බවයි.


