දීප චෙල්වන් ප්‍රදීපන්ගේ පොත රේගුව නිදහස් නොකරන්නේ ඇයි

8

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති ප්‍රකට දෙමළ කවියකු සහ නවකතාකරුවකු වන දීප චෙල්වන් ප්‍රදීපන් රචනා කළ කෘතිවල පිටපත් තොගය නිදහස් කිරීම සඳහා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා මහතා ප්‍රකාශ කර සිටියි. පසුගිය මාර්තු මස 18 වැනිදා රේගු භාරයට ගනු ලැබූ මෙම කෘති හතරකට අයත් පිටපත් 360ක් සම්බන්ධයෙන් වන ඉදිරි පියවර පැහැදිලි කරමින් ඔහු සඳහන් කළේ, සාහිත්‍ය අනුමණ්ඩලයේ අනුමැතිය ප්‍රකාශ කරන නිල ලිපිය ලැබුණු පසු රේගු පනතට අනුව එම කෘති නිදහස් කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවයි. පොත් පමණක් නොව, කිසියම් හානියක් සිදුවිය හැකි බවට සැක සහිත ඕනෑම ද්‍රව්‍යයක් නියාමන ආයතනවල අනුමැතිය සඳහා රඳවා තබා ගැනීම සාමාන්‍ය ක්‍රියාපටිපාටියක් බව පෙන්වා දෙන රේගු දෙපාර්තමේන්තුව, විශේෂයෙන් මහජන කැළඹීමක් ඇතිවීම හෝ ආගමික ශාස්තෘවරයෙකුට හානි වීම වැනි කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමු කරන බව අවධාරණය කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා සහ රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර, එහිදී ගැටලුව හැකි ඉක්මණින් විසඳීමට දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණ තිබේ. දැනට ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය මෙම ගැටලුව නිරාකරණය කරගැනීමේ කටයුතු කරමින් සිටින පසුබිමක, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය තුළ ඇති වූ මතගැටුමක් හේතුවෙන් එහි සාමාජිකාවක වූ ප්‍රවීණ ලේඛිකා මාලති කල්පනා ඇම්බ්‍රෝස් මහත්මිය සිය සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව ද වාර්තා වේ. කෙසේ වෙතත්, අදාළ නියාමන ආයතනවල නිසි අනුමැතිය ලැබුණු වහාම භාණ්ඩ නිදහස් කිරීමේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක වන බැවින් මේ සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *