ජාතික ජන බලවේගයේ අසාර්ථකත්වය හා රටේ දේශපාලන අනාගතය

world bank Recovered

ජාතික ජන බලවේගය අසාර්ථක වීම තුළ ඇතිවන තත්ත්වය, සරලව එක් දේශපාලන සන්ධානයක පරාජය පිළිබඳ කතාබහක් ලෙස සීමා කළ නොහැක. එය ශ්‍රී ලංකාවේ ජනතා මනෝභාවය, විශ්වාස පද්ධති සහ දේශපාලන සංස්කෘතිය තුළ ඇතිවිය හැකි වඩාත් දියුණු සමාජ ක්‍රම වෙනසක් පිළිබඳ ගැඹුරු බිඳවැටීමක් ලෙස අවබෝධ කරගත යුතු කරුණකි.

මෙහි මූලික ප්‍රශ්නය වන්නේ, මෙවැනි බලවේගයක් අසාර්ථක වීම ජනතාව විසින් “එක් පක්ෂයක අසාර්ථකත්වයක්” ලෙස නොව “වම ලෙස හඳුන්වන සම්පූර්ණ දේශපාලන අදහස් පද්ධතියේ අසාර්ථකත්වයක්” ලෙස අර්ථකථනය කිරීමට ඇති ප්‍රවණතාවයයි.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය චන්දදායකයා දේශපාලන අදහස්වල සුළු වෙනස්කම් හඳුනාගැනීමට වඩා සංකේත හා “Brand” මත තීරණ ගැනීමට පෙළඹෙන බව ඉතිහාසය පෙන්වා දෙයි. එබැවින් ජනතා විමුක්ති පෙරමුණ හෝ එය නියෝජනය කරන විශාල වාමාංශික පිළිබිඹුවක ප්‍රවාහය අසාර්ථක වුවහොත්, එය පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඇතුළත්ව ලංකාවේ සියලු වාමාංශික ව්‍යාපාර “ප්‍රායෝගික නොවන, ක්‍රියාත්මක කළ නොහැකි දේශපාලන ව්‍යාපාර” ලෙස ජනතා සිත් තුළ ස්ථාපිත වීමේ අවදානම පවතී.
මෙය සරල දේශපාලන විග්‍රහයක් නොව, එක් උදාහරණයකින් සම්පූර්ණ කාණ්ඩයක් පිළිබඳ තීරණයක් ගන්නා මනෝවිද්‍යාත්මක ප්‍රවණතාවයකි.
මෙවැනි තත්ත්වයක් තුළ, ජනතාවට විශ්වාස කළ හැකි විකල්පයක් නොපවතින විට, ඔවුන් යළිත් හුරුපුරුදු දේශපාලන බලවේග වෙත හැරෙනු ඇත. ඒවා සම්පූර්ණයෙන්ම නිර්මල හෝ කාර්යක්ෂම නොවුණද, “වෙනත් විකල්පයක් නොමැතිකම” නිසා ඒවා යළි ශක්තිමත් වීම සාමාන්‍ය දේශපාලන ප්‍රතිචාරයකි.
එබැවින් වම ලෙස ස්ථාපිත වූ පක්ෂයක් , ව්‍යාපාරයක් ලංකා ඉතිහාසයේ පළමු වතාවට විධායකයේ හා ව්‍යවස්ථාපිතය යන කොටස් දෙකේම පූර්ණ බලයක් ලබා අසාර්ථක වූ අවස්ථාවක පෙර පැවති ප්‍රවාහයන් නැවත බලය ලබාගැනීම, ජනතාව තෝරාගන්නා “අවශ්‍ය විකල්පය” ලෙසද පැහැදිලි කළ හැක.
මෙහිදී ඇතිවිය හැකි තවත් ගැටලුවක් වන්නේ, දූෂණය හා බලය අයුතු ලෙස භාවිතා කිරීම පිළිබඳ ජනතා සංවේදනාව හීන වීමයි. මනෝවිද්‍යාත්මක සැලකූ විට
එය සිදුවීම පියවර කිහිපයකින් අපට හඳුනාගත හැක මුලදී එවැනි ක්‍රියා “අනුමත නොකළ යුතු” ලෙස සැලකේ. නමුත් නැවත නැවතත් සිදුවන අසාර්ථක උත්සාහයන් හමුවේ, ඒවා “වළක්වා ගත නොහැකි” දේවල් ලෙස පිළිගැනීමට ජනතාව යොමුවේ. අවසානයේදී, එවැනි ක්‍රියා සමාජයේ සාමාන්‍ය තත්ත්වයක් ලෙසම පිළිගන්නා මට්ටමකට පත්විය හැක. මෙය සමාජයේ ආචාරධර්ම පද්ධතිය මෘදු ලෙස කඩාවැටීමක් ලෙස හැඳින්විය හැක.
මෙම ක්‍රියාවලියට සමගාමීව ජනතාව තුළ “අප කොපමණ උත්සාහ කළත් වෙනසක් සිදු නොවේ” යන හැඟීමක් ඇතිවන අතර මෙය මනෝවිද්‍යාත්මකව “learned helplessness” ලෙස විග්‍රහ කර ගත හැක. එවැනි තත්ත්වයකදී, ජනතාව සක්‍රීයව ප්‍රතිරෝධය දක්වන ස්වභාවයෙන් ඉවත්ව, දේශපාලන ක්‍රියාවලිය පිළිබඳ අසක්‍රීය හා අලස ස්වභාවයකට පත්වේ. එම තත්ත්වය තුළ, දූෂිත හෝ අධිකාරි ස්වභාවයක් ඇති පාලන ක්‍රමයක් වුවද විශාල ප්‍රතිරෝධයකින් තොරව ක්‍රියාත්මක වීමට ඉඩ ලැබේ.
ඉන්පසු සමාජය තුළ දක්නට ලැබෙන්නේ, එකමුතු ලෙස පද්ධතිය වෙනස් කිරීමට උත්සාහ කිරීම වෙනුවට, එම පද්ධතිය තුළම තනි පුද්ගලයන් තමන්ට හැකි පරිදි වාසි සොයාගැනීමට යොමුවීමයි. මෙය සමාජය සමූහ ක්‍රියාකාරීත්වයෙන් පුද්ගලික ජීවිත ආරක්ෂා කරගැනීමේ ක්‍රමවේද වෙත මාරුවීමක් ලෙස විස්තර කළ හැක.

එවැනි සමාජයක නීතිය, ආචාරධර්ම සහ පොදු යහපතට වඩා පුද්ගලික ප්‍රයෝජනය ප්‍රමුඛත්වය ලබයි.
මෙම සියලු ප්‍රවණතා එකට එකතු වූ විට, රටක ආර්ථික වශයෙන් යම් දියුණුවක් ලැබූවද, සමාජ ක්‍රමයක් ලෙස එය ආපස්සට යෑමකි. මන්ද එවිට නීතියේ ආධිපත්‍යය දුර්වල වන අතර බලය සීමිත පිරිසක් අතට එක්රැස් වීමට ඉඩ ලැබේ. එවැනි පද්ධතියක් තුළ අධිකරණය හා නීතිය ක්‍රියාත්මක වීම පවා දේශපාලන බලයට යටත් වීමේ අවදානමක් පවතී.
කෙසේ වෙතත්, මෙය අනිවාර්යයෙන් සිදුවිය යුතු අනාගතයක් නොව, සිදුවිය හැකි තවත් එක් තත්ත්වයක් ලෙස සලකා බැලිය යුතුය. එය තීරණය වන්නේ ජනතාවගේ විශ්වාස පද්ධති, දේශපාලන විකල්ප, සහ ආයතනික ශක්තිමත්භාවය අනුවය. එබැවින් ජාතික ජන බලවේගය අසාර්ථක වීම පිළිබඳ මෙම විග්‍රහය, අනතුරු ඇඟවීමක් ලෙස පමණක් නොව, ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ දුර්වලතා පිළිබඳ අවධානය යොමු කරන වැදගත් තත්ත්වයක් ලෙසත් අප තේරුම් ගත යුතුය.

Anz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *