පාසල් දරුවන්ගේ පෝෂණය නොමිලේ ආහාර දීමට එහා ගිය සෞඛ්‍ය සම්පන්න වැඩසටහනක් විය යුතුයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රජයේ පාසල් පෝෂණ වැඩසටහන හුදෙක් ඉලක්කගත පිරිසකට නොමිලේ ආහාර වේලක් ලබාදීමට පමණක් සීමා වූවක් නොවිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ලෝක ආහාර වැඩසටහනේ (WFP) නියෝජිතයින් අතර අගෝස්තු 24 වනදා අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළේ රජයේ පාසල් පෝෂණ වැඩසටහන හුදෙක් ඉලක්කගත පිරිසකට නොමිලේ ආහාර වේලක් ලබාදීමට පමණක් සීමා වූවක් නොවිය යුතු බවයි.

සමස්ත පාසල් පද්ධතිය තුළම සෞඛ්‍ය සම්පන්න ආහාර රටා, යහපත් පෝෂණ දැනුවත්භාවය සහ නිවැරදි සෞඛ්‍ය පුරුදු ඇති කිරීම එහි ප්‍රධාන අරමුණ විය යුතු බව අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.

රට තුළ පෝෂණ ගැටලුව තවදුරටත් දැඩි අවධානය යොමු කළ යුතු කරුණක් බව සඳහන් කළ අග්‍රාමාත්‍යතුමිය, ප්‍රාථමික හා සෞඛ්‍ය සංරක්ෂණය සමඟින් නිවැරදි ආහාර රටා ප්‍රවර්ධනය කිරීමේ අත්‍යවශ්‍යතාව පැහැදිලි කළාය.

දැනට පාසල්, පූර්ව ළමා විය සහ තෝරාගත් පවුල් මට්ටමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන බවත්, වර්තමානයේ ශීඝ්‍රයෙන් පැතිර යන බෝ නොවන රෝග (NCDs) වළක්වා ගැනීමට නම් ඊට බලපාන මූලික හේතු හඳුනා ගැනීම අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

පෝෂණය හා සෞඛ්‍යය පිළිබඳ ඉදිරි ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී හුදු අනුමාන මත නොව, නිවැරදි විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත පදනම් කරගත යුතු බවද තවදුරටත් අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවේ පාසල් පෝෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන මෙම ක්‍රියාමාර්ග අගය කළ ලෝක ආහාර වැඩසටහනේ (WFP) නියෝජිතයෝ, ඊට අඛණ්ඩව සහාය දක්වන බවට සහතික වූහ. දැනට සිදුවෙමින් පවතින ධනාත්මක වෙනස්කම් ඉදිරියට ගෙන යාමටත්, පෝෂණ වැඩසටහන්වල සාර්ථකත්වය උදෙසා විශ්වවිද්‍යාල, අධ්‍යාපන අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන එක්ව කටයුතු කිරීමේ වැදගත්කමත් ලෝක අහාර වැඩසටහනේ නියෝජිත පිරිස පෙන්වා දුන්හ.

මෙම සාකච්ඡාවට ලෝක අහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත සහ මෙරට අධ්‍යක්ෂ පිලිප් වෝඩ්, නියෝජ්‍ය අධ්‍යක්ෂ රොබට් ඔලිවර්, සිඩ්නි නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජය ශ්‍රී අර්කොට් යන මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *