ශ්‍රී ලංකාව සහ චීනය අතර කෘෂිකාර්මික සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරගැනීම අරමුණු කරගනිමින්, මෙරට චීන තානාපති (Wei Huaxiang) මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (14) ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.
දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් කෘෂිකාර්මික, වාරිමාර්ග හා පශු සම්පත් ක්ෂේත්රයන්හි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.
මෙහිදී චීන තානාපතිවරයාගේ විශේෂ අවධානය යොමු වූයේ හරිතාගාර වගාවන් සහ සුහුරු කෘෂිකර්මාන්තය (Smart Agriculture) කෙරෙහි ය. චීනය මේ වන විට ජංගම යෙදවුම් (Apps) හරහා වගාවට උචිත පස, ආර්ද්‍රතාවය ඇතුළු සියලු පරිසර තත්ත්වයන් මැනගනිමින් කෘෂිකාර්මික කටයුතු හැසිරවීමේ තාක්ෂණය දියුණු කර ඇති අතර, එම තාක්ෂණික සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදීමට කැමැත්ත පළ කළේය.
එමෙන්ම, මුහුදු ජලයේ පවා වගා කළ හැකි දියුණු දෙමුහුන් වී ප්‍රභේද මෙන්ම වියළි හා තෙත් කාලගුණික තත්ත්වයන්ට ගැලපෙන පරිදි ඉඩම් සකස් කිරීමේ තාක්ෂණය ද චීනය සතුව පවතින බව තානාපතිවරයා පෙන්වා දුන්නේය. සේවා, කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත යන අංශ තුනම එකිනෙකට සම්බන්ධ කරමින් සමගාමී සංවර්ධනයක් කරා ගමන් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
සාකච්ඡාවට එක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ වත්මන් කෘෂිකාර්මික තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළේය. ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත රටක් බවත්, බඩඉරිඟු අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිෂ්පාදනය කරන බවත් ලේකම්වරයා සඳහන් කළේය. එසේම මෙරටට අවශ්‍ය බොහොමයක් ගොවිපල යන්ත්‍රෝපකරණ ආනයනය කරන්නේ චීනයෙන් බවත්, ශ්‍රී ලාංකික ගොවීන් වෙනුවෙන් චීන රජය ලබාදෙන තාක්ෂණික පුහුණු වැඩසටහන් පිළිබඳව කෘතඥතාව පළ කරන බවත් හෙතෙම පැවසීය.


