දේශීය මුදල් රාජ්‍ය බැඳුම්කර දර්ශකයේ ඉහළම ප්‍රතිශතයක් හිමි රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ව තිබෙනවා.
ඒ, ජේ.පී. මොර්ගන් අන්තර්ජාතික ආයතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුවයි.
මෙමගින් ගෝලීය ආයෝජකයින් අතර ශ්‍රී ලංකාවේ දේශීය ණය වෙළඳපොළ කෙරෙහි පවතින විශ්වාසය තවදුරටත් තහවුරු වන බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
සෙප්තැම්බර් 30 වැනි දින නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත මෙම “ජී.බී.අයි-ඊ.එම්. එජ්” දර්ශකය මගින්, නැගී එන ආර්ථිකයන් සහිත රටවල් 26 ක, එම රටවල දේශීය මුදල්වලින් නිකුත් කර ඇති අමෙරිකානු ඩොලර් බිලියන 330කට ආසන්න වටිනාකමකින් යුත් රාජ්‍ය බැඳුම්කර නිරීක්ෂණය සහ ගණනය කිරීම සිදු කරනු ලබනවා.
මෙම දර්ශකය තුළ එක් රටකට හිමි කර ගත හැකි උපරිම ප්‍රතිශතය සියයට 8 ක් වන අතර, ශ්‍රී ලංකාවට සියයට 7.5 ක ඉහළ ප්‍රතිශතයක් හිමිව තිබෙනවා.
පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ දේශීය මුදල් සහ ණය වෙළඳපොළ පෙන්නුම් කළ වේගවත් ස්ථාවරත්වය මෙම ඉහළ ඇගයීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව සඳහන්.
මෙමගින් ජාත්‍යන්තර අරමුදල් කළමනාකරුවන්ට ශ්‍රී ලංකාවේ රුපියල් බැඳුම්කර වෙත අවධානය යොමු කිරීම පහසු වන අතර, ඉදිරියේදී විදේශීය ආයෝජන දේශීය බැඳුම්කර වෙළඳපොළ වෙත ආකර්ෂණය කර ගැනීමටත්, දේශීය ණය ලබා ගැනීමේ පිරිවැය සහ පොලී අනුපාතික පහළ මට්ටමක පවත්වා ගැනීමටත් හැකියාව ලැබේ.


