2010 වසරේ ජනවාරි 25 වැනිදා අලුයම 5.30 ට පමණ අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශය අවදි වූයේ ජවිපෙ නාගරික මන්ත්‍රී මෙන්ම ප්‍රදේශයේ ගෞරවනීය ගුරුවරයෙකු වූ චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයාට එල්ල වූ ම්ලේච්ඡ ප්රහාරයකිනි.
ඔහු සහ පැරණි ජවිපේ ප්‍රධාන ක්‍රියා කාරිකයෙක් වූ ගංගා ද ඇතුළු පිරිස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ පෝස්ටර් අලවමින් සිටියදී සජින් වාස් ගුණවර්ධනගේ මැර පිරිසක් එතැනට කඩා පැන්නහ.
ප්‍රියන්ත (බැගී), හිරේවත්තේ කළු චානක හෙවත් ‘සෙලින්කෝ අසංක’, සහ සජින් වාස්ගේ කරණවෑමියා වූ සුමිත්ගේ මස්සිනා වන ගොඩහේනේ ඉවෝන් ඇතුළු මෙම මැර කල්ලිය, නයිදුවාවඩු සහෝදරයාට අමානුෂික ලෙස පහර දුන්හ. මේ පහරදීම නිසා තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබුණා. මේ පිරිසට දරුණු ලෙස පහර දී තිබුණා. ඉන් නොනැවතී පෝස්ටර් ඇලවීමට ගෙන ආ පාප්පවලින් ඔහුව සම්පූර්ණයෙන්ම නාවා දැමුවේ ඉතා නින්දිත අයුරිනි. ඉන්පසුව එතැනට වාහනවලින් කඩා වැදුණේ සජින් වාස්ගේ ඥාති සොහොයුරු තාරක වාස් ගුණවර්ධන සහ සජින්ගේ ආරක්ෂක අංශයේ නිලධාරින් වේ. ලෙයින් සහ පාප්පවලින් පෙඟී බරපතල තුවාල ලබා සිටි නයිදුවාවඩු සහෝදරයාව “මැතිවරණ නීති කැඩුවා” යන චෝදනාව මත ඔවුහු අම්බලන්ගොඩ පොලීසියට භාර දුන්හ.
දැඩි ලෙස තුවාල ලබා සිටි ඔහු බලපිටිය රෝහලට ඇතුළත් කළද, එල්ල වූ මරණීය තර්ජන හමුවේ ජීවිත ආරක්ෂාව පතා ජනවාරි 29 වනදා රෝහලෙන් පිටව ගියේය. පොලීසිය ඔහුගේ කට උත්තරයක් EIB 106/86 යටතේ සටහන් කර ගන්නා ලදී. එහෙත් නිවසට ගිය පසු තත්ත්වය අසාධ්‍ය වූයෙන් ජනවාරි 31 වනදා යළිත් රෝහල් ගත කළ අතර, 2010 පෙබරවාරි 02 වනදා ඔහු සියල්ලන් හැරදා අවසන් සුසුම් හෙළුවේය.
ඝාතනයෙන් පසු ආරම්භ වූයේ නීතිය යටපත් කිරීමේ නිර්ලජ්ජිත මෙහෙයුමයි. එහිදී මරණ පරීක්ෂණ වාර්තාවට පවා බලපෑම් කිරීමට සජින් වාස් මැදිහත් වූ බවට චෝදනා එල්ල විය. ඊට හේතු වූයේ බලපිටිය රෝහලේ සේවය කළ සජින් වාස්ගේ නෑනා එනම් හර්ෂ ද සිල්වාගේ සොහොයුරිය හරහා රෝහල් පරිපාලනයට බලපෑම් කළ හැකි පරිසරයක් නිර්මාණය වී තිබීමයි.
නියම ඝාතකයින් බේරාගැනීම සඳහා ක්‍රීඩා නිලධාරීයෙක් වූ “ඇස් ඉඳුනිල්” හෙවත් ඉඳුනිල් එදිරිවික්රමසූරිය ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන නාටකයක් රඟදැක්වූ බව අම්බලන්ගොඩ ජනතාවගෙන් කොටසක් අදටත් පවසති.
තවත් කොටසක් පවසන්නේ මේ මැර කණ්ඩායම සමගින් ඇස් ඉඳුනිල් ද සිටි බවයි. කෙසේ වෙතත් ඇස් ඉඳුනිල් නයිදුවාවඩු සහෝදරයාට මරණ තර්ජන කල බවට පැමිණිල්ලක් ද (EIB 52/37) ජනවාරි 14 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී පොලිස් පොතේ ලියා ඇති බවද තතු දත්තෝ පවසනවා. කෙසේ වෙතත් ඝාතනයට පෙර කර තිබූ පැමිණිල්ල පිළිබඳව පොලීසිය පරීක්ෂණ කරල නැහැ.
තවද, මෙම අපරාධය සම්බන්ධයෙන් ස්වාධීනව පරීක්ෂණ කිරීමට උත්සාහ කළ අම්බලන්ගොඩ හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක (HQI) බූදාගොඩ මහතාව සජින් වාස්ගේ බලපෑම මත වහාම ඇල්පිටියට මාරු කර යැවූ අතර, තමන්ට හිතවත් අයෙකු පත් කරගෙන නඩුව මුළුමනින්ම යටපත් කර දැමීය.
මෙම ඛේදවාචකයෙන් වසර 8ක් ගතවූ තැන, එනම් 2018 වසරේදී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව දෙවනත් කරමින් මෙම ඝාතනය පිළිබඳව ප්‍රබල හඬක් නැගුවේය.
ඒ 2018 වසරේ අගෝස්තු 25 වනදා පැවැති පාර්ලිමේන්තු සභා රැස්වීමේදීය. එවකට මන්ත්‍රීවරයකු වූ අනුර කුමාර දිසානායක චන්ද්‍රදාස නයිදුවාවඩුගේ ඝාතනය සම්බන්ධ වූවන් අත් අඩංගුවට ගන්නා ලෙසද ඔහුගේ ඝාතනයෙන් අසරණ වූ පවුලේ අයට වන්දි ගෙවන ලෙසටද පැවැති රජයෙන් ඉල්ලා සිටියේය.
“2010 දී අපේ පක්ෂයේ අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී නයිදුවාවඩු සහෝදරයා මිය ගියා… අම්බලන්ගොඩ පොලීසිය මැරයන්ට එරෙහිව පියවර නොගත්තේ සජින් වාස් ගුණවර්ධනගේ මැරයන් නිසයි… නීතිපති දෙපාර්තමේන්තුව මේ ෆයිල් එක යටපත් කරලා පැත්තකින් තබලා තියෙනවා…” යනුවෙන් එදා ඔහු නැගූ ඒ යුක්තියේ හඬ අදටත් අපගේ මතකයේ රැව්දෙයි. අමතක අයෙක් සිටිනවා නම් පාර්ලිමේන්තුවේ හැන්ඩ්සාඩ් වාර්තා සොයා කියවිමේන් එය මතක් කර ගැනීමට හැකිය.
එහෙත් අනුර කුමාර දිසානායක මහතා එදා පාර්ලිමේන්තුවේදී එම ඓතිහාසික ප්‍රකාශය කර අදට වසර 8 කට ආසන්න වී ඇත.
නයිදුවාවඩු සහෝදරයා ඝාතනය වී වසර 16 ක් ගතවී අවසන්ය. ජවිපෙ නාගරික මන්ත්රීවරවරයකු වූ චන්ද්‍රදාස නයිදුවාවඩු නයිදුවාඩු ඝාතනය කිරීම පිළිබඳව ජවිපේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාද බොහෝ අවස්ථාවල මහජන හමුවීම්වලදී සිහිපත් කර තිබේ.එදා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් දිවි දුන් නයිදුවාවඩු වැනි සහෝදරයන්ගේ රුධිරයෙන් සහ කැපවීමෙන් ගොඩනැගුණු ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව අද රට කරවන බලවේගය බවට පත්ව ඇත.
නමුත් තමන්ගේම පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයාව අමානුෂික ලෙස ඝාතනය කළ සජින් වාස්ගේ මැරයන්ට හෝ ඊට අනුබල දුන් දූෂිත පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් මාලිමා ආණ්ඩුව තවමත් කටයුතු කර නැත.
වත්මන් අම්බලන්ගොඩ මාලිමා නගරාධිපති අසේල ගොඩහේවාත්, නයිදුවාවඩු සහෝදරයාගේ ගේ මරණයට නම් කියවුණු අනෙකුත් පුද්ගලයන් මේ වන විට මාළිමාවේ ප්‍රබල අනුගාමිකයන් බවට පත්ව සිටියත් එකල සජින් වාස්ගේ ප්‍රධාන පෙලේ අනුගාමිකයන් බව මුලු අම්බලන්ගොඩම ප්‍රසිද්ධ කරුණකි..
සජින් වාස්ගේ අතීත ප්‍රධාන ගෝලයන් අද මාලිමා පාලනය තුළ නගරාධිපතිකම් දරද්දී, නයිදුවාවඩු සහෝදරයාගේ පවුලට සහ මතකයට සිදුවන සාධාරණය කුමක්ද?
චන්ද්‍රදාස නයිදුවාවඩු නයිදුුුවාවඩු සහෝදරයා සිය ජීවිතය පිදුවේ ප්රජාන්ත්රවාදය ගොඩ නැගීම වෙනුවෙන් ජවිපෙ රජයක් පිහිටුවීමට වේ . මේ වන විට මේ මහ පොළව මත ඔහු එදා දුටු හීනය පැල වී තිබේ. දැන් ආණ්ඩුව සතු වගකීම හා යුතුකම වන්නේ ඔහුට සාධාරණය හා යුක්තිය ඉටු කිරීමය. ඒ කාර්යය ප්‍රමාද වනවා යනු මාළිමා ආණ්ඩුවේ අකෘතඥ බව තහවුරු කරන්නකි.
උපුටා ගැනීම Dark Room


