කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ දෙවසරක ප්‍රගතිය සහ ඉදිරි වැඩසටහන් සමාලෝචනය කෙරෙන “සරු බිමකට – සරු සවි බල” විශේෂ සාකච්ඡාව 22 වැනිදා මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී කෘෂිකර්ම අංශය සහ ඊට අදාළ අනෙකුත් අංශ මඟින් 2025 සහ 2026 යන වසර දෙක තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති, ඒවායේ වත්මන් ප්‍රගතිය මෙන්ම ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.
රැස්වීම අමතමින් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේ අදාළ මූල්‍ය ඉලක්ක කරා ළඟාවීම සඳහා වෘත්තීය සමිතිවල සහයෝගය ලබාගැනීමේ විධිමත් සැලැස්මක් ඉහළ නිලධාරීන් විසින් සකස් කළ යුතු බවයි.
නිලධාරීන් හා වෘත්තීය සමිති අතර පවතින ආකල්පමය බාධා පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා, වෘත්තීය සමිති දෙස සතුරු ආකල්පයකින් නොබලන ලෙසත්, ඒවා සංවර්ධන ක්‍රියාවලියට ශක්තියක් කරගත හැකි ප්‍රබල ව්‍යාපාර බවත් පෙන්වා දුන්නේය. එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සඳහා වෘත්තීය සමිති නියෝජනයක් ලබාදීමටද යෝජනා වී ඇති බව එතුමා සඳහන් කළේය.
සියලුම රාජ්‍ය ආයතන තමන් විසින්ම ආදායම් උපයාගෙන එම ලාභ බෙදාගැනීමේ ක්‍රමවේදයකට පිවිසිය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මිල්කො ආයතනය මෙලෙස ලාභ බෙදාගැනීම ඊට හොඳ නිදසුනක් බව ප්‍රකාශ කළේය.
රට ඉදිරියට ගෙන යාමේදී සහ වාර්ෂික ඉලක්ක සම්පූර්ණ කරගැනීමේදී යම් යම් නීති හෝ චක්‍රලේඛ බාධාවක් වන්නේ නම්, ඒවා වෙනස් කරගනිමින් ඉදිරියට යා යුතු බව එතුමා පැවසීය. ජාතික ඉලක්ක සපුරා නොගතහොත් ආර්ථිකය ශක්තිමත් නොවන බවත්, ආර්ථිකය ශක්තිමත් වීමෙන් පමණක් ජනතාවට යහපත් ජීවිතයක් ගොඩනඟා ගත හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රගතිය 80% දක්වා ඉහළ නංවා ගැනීමට සැවොම එක්ව කටයුතු කරන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා, කිසිදු බෙදීමකින් තොරව සාමූහිකව ප්‍රශ්න විසඳගනිමින් ජාතික ඉලක්ක ජයගැනීමට කැපවන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ ආයතනවල ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.


