ආණ්ඩුවේ මර්දනීය පනත්වලට එරෙහිව පෙ.ස.ප.යෙන් මාධ්‍ය හමුවක්: පුබුදු ජයගොඩ අදහස් දක්වයි

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ඇතුළු ආණ්ඩුවේ මර්දනීය උත්සාහයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද, සැප්තැම්බර් 25 දි පෙ.ස.ප. කාර්‍යාලයේදී පැවැත්වූ අතර. එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා පහත අදහස් දැක්වීය.

සැප්තැම්බර් 22 දිනැතිව ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත නමින් කෙටුම්පතක් ගැසට් කර තිබෙනවා. මෙහි නම රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීම වුණාට ඇත්ත අරමුණ රාජ්‍යය ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීන්වයෙන් වසං කර ගැනීම. මෙහි අරමුණ ලෙස රාජ්‍යය ආරක්ෂා කර ගැනීම ලියා තිබුණාට සැඟවුණු අරමුණ ජනතා බලය දුර්වල කර රාජ්‍ය බලය වැඩි කර ගැනීම. මේ කෙටුම්පතේ වචන වල ත්‍රස්තවාදය පාලනය කිරීම ගැන ලියා තිබුණාට පසුපස තිබෙන්නේ මහජන දේශපාලන අවකාශය කප්පාදු කිරීමේ උවමනාව.
ඒ බව මෙහි ත්‍රස්තවාදය ගැන නිර්වචනය කියවද්දීම පැහැදිලි වෙනවා. කලින් පනතේ ත්‍රස්තවාදය යනු සන්නද්ධ ක්‍රියාකාරකම් හා මිනීමැරීම්. මේ කෙටුම්පතේ ත්‍රස්තවාදය යනු දේශපාලන මතවාදී උවමනාවකින් යම් රජයක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් වෙත යමක් කරන ලෙස හෝ නොකරන ලෙස බලපෑම් කිරීම. ඒ කියන්නේ වැටුප් වැඩි කරන්න කිව්වත්, ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුම් ගහන්න එපා කිව්වත් ත්‍රස්තවාදී කියලා කියන්න ඉඩ ඉතිරි කරගෙන තිබෙනවා. මෙහි ඉලක්කය ත්‍රස්තවාදීන් නොව වෘත්තිය සමිති නායකයන්, ගොවි නායකයන්, ශිෂ්‍ය නායකයන්, තරුණයන්, සමාජ ක්‍රියාකාරීන් හා ප්‍රජා නායකයන්.

ඒ වගේම දැනට අධිකරණය සතු බලයක් මෙමගින් විධායකයට පවරාගෙන තිබෙනවා. පුද්ගලයන් රඳවා තබා ගැනීමේ බලය තිබෙන්නේ අධිකරණයට. මේ පනත සම්මත වුණොත් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට මාස දෙකෙන් දෙකට රැඳවුම් නියෝග නිකුත් කරමින් අවුරුද්දක් කෙනෙකුව රඳවා ගන්න පුළුවන් අධිකරණ නියෝගයක් නැතිව.

මේ පනත් කෙටුම්පතේ 19 වගන්තියෙන් දැනට පොලීසිය සතු සෝදිසි කිරීමේ, අත්අඩංගුවට ගැනීමේ හා රඳවා ගැනීමේ බලය හමුදාවට දීලා. යුද්ධයෙන් පසු ප්‍රතිසන්ධාන කොමිසම නිර්දේශ කළා පොලීසිය සහ හමුදාව තනි අමාත්‍යංශයකින් පාලනය කරන්නත් එපා, දෙකක් හදන්න කියලා. මහජන ආරක්ෂක අමාත්‍යංශය හැදුවේ එහෙම. දැන් ඒ ඔක්කොම නොසලකා හමුදාවට පොලිස් බලතල දෙන්න යන්නේ සිවිල් ජනතාවට මුහුණ දෙද්දී සන්නද්ධ බලය භාවිතා කරන්න ඕන නිසාද?

ආණ්ඩුව සහ පොදුවේ පාලක පන්තිය මෙවැනි මර්දන නීති ගෙනෙන්නේ ඇයි? සමාජයේ තත්වය අන්‍තිම නරකයි. IMF ආසියා ශාන්තිකර දෙපාර්තමේන්තු ප්‍රධානී ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්ට අනුව වයස අවුරුදු 15-24 අතර උගත් තරුණ විරැකියාව 43%ක්. එය ආසියාවේ වැඩිම අගය.
ඉන්දියාවේ එය 41%ක්, නමුත් එහි තරුණයන් කැරපොතු ව්‍යාපාර හැදුවා. බංග්ලාදේශයේ 36%ක්, එහි තරුණයන් රජයේ රැකියා කෝටාවේ ප්‍රශ්නයට අරගල කරලා ජනාධිපතිනිය ගෙදර යැව්වා. මේ ගොල්ලෝ උගත් තරුණයන්ට බයේ මේ නීති ගේන්නේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව ජීවන වියදමට සාපේක්ෂව වැටුපේ මූර්ත අගය සලකද්දී ලෝකයේ රටවල් 130කින් ලංකාව 120 ස්ථානයේ. ඒ කියන්නේ ලංකාවට වඩා ජීවත්වීම අමාරු රටවල් 10යි ලෝකයේ තියෙන්නේ.

දකුණු ආසියාවේ භූතානය හැර අනෙක් හැම රටක්ම ලංකාවට ඉහලින්. 2026 ලෝක සතුටු දර්ශකයේ ලංකාව ඉන්නේ රටවල් 147කින් 134 වන තැන. ලංකාවේ 62%ක් වැඩ බිමේදී ඉන්නේ අසතුටෙන්. දකුණු ආසියාවේ එම අගය 30%ක් පමණයි. ඒ කියන්නේ රැකියා තියෙන අයත් අසතුටෙන්, ජීවත් වෙන්න අමාරුයි. කම්කරුවෝ ඒකට විරුද්ධව පාරට එයි කියලා බයේ මේ නීති ගෙනෙන්නේ. ලෝක බැංකුවේ 2026 Sri Lanka Development Update ලංකාවේ ජනගහනයෙන් 65.4%ක් දරිද්‍රතා රේඛාවෙන් යට ඉන්නේ. ඒ කියන්නේ ජනගහනයෙන් තුනෙන් දෙකක්. ජනගහනයෙන් 33%ක් දරුණු ආහාර සුරක්ෂිතතා අර්බුදයක. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා නීති සම්මත කරන්න හදන්නේ පාර්ලිමේන්තුවෙන් එළියේ ඉන්න දුප්පත් තුනෙන් දෙක පාගන්න. මේක ඇතුළේ තුනෙන් දෙක හා එළියේ තුනෙන් දෙක අතර යුද්ධයක්. මේක තමයි පන්ති සටන. ආණ්ඩුව, පාලක පන්තිය, රාජ්‍යය ඒ සටනට අවි මුවහත් කරනවා. ජනතාවට ඒ ප්‍රහාරයට මුහුණ දෙන්න වෙන්නේ සංවිධානය වෙලා, පුළුල් මහජන ව්‍යාපාරයකින්. මේ පනත ගැන ආයේ කතා කර කර ඉන්න දෙයක් නෑ, පාරට බැහැලා මේක පරදවමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *