රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ 45 වන වාර්ෂික මහා සමුළුව අමාත්‍යවරයාගේ කතාව සහ අදාල වීඩියෝ සබැදිය

රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ වාර්ෂික මහා සමුළුව ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ වාර්ෂික මහා සමුළුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) කොළඹ කිංස්බරි හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.මෙම අවස්තාවට අමාත්‍යවරයා සමග නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ අමාත්‍යවරයාද සම්බන්ධ විය. මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ තමන් මෙහිදී වෘත්තීය සමිති නායකයෙකු මෙන්ම අමාත්‍යවරයා ලෙසද අදහස් දක්වන බවයි. අමාත්‍යාංශයට අයත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව තමන් සතුටු වන බවත්, වසරේ කෙටි කාලයක් තුළ විශාල අභියෝගයකට මුහුණ දෙමින් ඔවුන් සිය රාජකාරි ඉටු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. රාජ්‍ය සේවා ඉංජිනේරු වෘත්තිය සහ එහි නිරත පිරිස මුහුණ දෙන ගැටළු පිළිබඳව සමාජයේ කතාබහ අඩු වුවද, රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා දැවැන්තම පංගුවක් ඉටු කරන්නේ ඉංජිනේරු ප්‍රජාව බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඉංජිනේරු වෘත්තියේ පවතින වැටුප් නොප්‍රමාණවත්කම ඇතුළු ගැටළු රාශියක් පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවද හෙතෙම සඳහන් කළේය. වත්මන් රජය බලයට පත්වීමට පෙර අඩපණ වී තිබූ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කර ඇති බවත්, පැවැති පැරණි ක්‍රමවේද වෙනස් කිරීමට උත්සාහ කිරීමේදී විවිධ ගැටළු සහ විරෝධතා මතුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම, වෙන් කරන මුදල්වලින් භාවිතයට ගැනෙන්නේ 60%ක් පමණක් වීම බරපතල ගැටළුවක් බවත්, වෙන් කෙරෙන ප්‍රතිපාදන ඵලදායී ලෙස වැය කිරීමට සෑම දෙපාර්තමේන්තුවක්ම උත්සාහ කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. රාජ්‍ය සේවයේ නිරත ඉංජිනේරුවන්ගේ වැටුප් හා පහසුකම් පිළිබඳව රජයේ දැඩි අවධානය යොමුව ඇති බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, රටේ ඉදිරි ගමන වෙනුවෙන් ඉංජිනේරුවන් දක්වන කැපවීම සහ සේවය රජය ඉහළින් අගය කරන බවත්, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ පහසුකම් වෙනුවෙන් පෙනී සිටීමට රජය සැමවිටම බැඳී සිටින බවත් සඳහන් කළේය. මාධ්‍ය ඒකකය‍ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *