ඉන්දියාව සමඟ පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 25කින් ජයගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායමට අද (03) හැකියාව ලැබුණි.
ඒ, අනුව ඉන්දියාවට එරෙහිව පූර්ණ ටෙස්ට් තරගවලි ජයක් වාර්තා කරන්නට නවසීලන්තයට හැකියාව ලැබුණු අතර, ඉන්දියාව සිය මව්බිමේ දී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත් වුණේ වසර 12 කට පසුවය.
තවද ඉන්දියාවට තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක දී පූර්ණ තරගවලි පරාජයක් අත්කර දුන් සිව්වන කණ්ඩායම බවට නවසීලන්තය පත් වුණි.
මුම්බායි නුවර වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙරට අතර තුන්වන ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 235ක් රැස් කිරීමට සමත් වූ අතර ඊට පිළිතුරු ලෙස ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 263ක් රැස් කිරීමට සමත් විය.
අනතුරුව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 28ක් පසුපසින් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළ නවසීලනතය ඔවුන්ගේ දෙවන ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 174කි.
ඒ, අනුව මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 147ක පහසු ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය හඹා ගිය ඉන්දීය පිතිකරුවන් සියල්ලන් ලකුණු 121ක් තුළ දවාගන්නට නවසීලන්ත පන්දු යවන්නන්ට හැකියාව ලැබුණි.
ඒ, අනුව මෙම තරගය ලකුණු 25කින් ජයගනිමින් ඉතිහාසගත ජයක් වාර්තා කරන්නට නවසීලන්තය සමත් වූ අතර දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 08කින් සහ දෙවන තරගය ලකුණු 113කින් ජයග්‍රහණය කළ නවසීලන්ත පිළ තරඟ තුනක තරගාවලියක් සිය මව්බිමෙන් පිටත දී ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙසද වාර්තා අතරට එක් විය.


