නෙළුක්කුලම පොලිස් වසමේ කලෛමහල් විද්‍යාලය අසලදී ඊයේ (10) සවස් කාලයේදී දෙපාර්ෂවයක් අතර ඇති වූ ආරවුලක් අතරතුර පුද්ගලයෙකු මාර්ගයට විසි වී මාර්ගයේ ධාවනය වූ රථයක ගැටී මියගොස් ඇති බවට වාර්තා වේ.
රථයේ ගැටීමෙන් පසු තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් ඇති බවට වාර්තා වන අතර මරණකරු වයස අවුරුදු 30ක් වූ නේරියකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පුද්ගලයින් තිදෙනෙකු මාර්ගය ආසන්නයේ ආරවුලක් ඇති කර ගනිමින් එකිනෙකා පොර බඳිමින් සිටින අවස්ථාවේ එක් අයෙකු මාර්ගය දෙසට විසි වී ගොස් මාර්ගයේ ගමන් කළ රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සිදුකර පලාගිය වාහනය හා රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා නෙළුක්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


