IMF දූත ප්‍රධානීන් ජනපති හමුවෙයි…….

imf web 1 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු දූත පිරිස පසුගිය දා (18) ජනාධිපතිවරයා හා ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හමුවූ අතර
පුරවැසියන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව සමබර ප්‍රවේශයක් පවත්වාගෙන යන ලෙස ජනාධිපතිව්රරයා විසින් IMF වෙතින් ඉල්ලා ඇති බව ද වාර්තා වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම, ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් ලබා ගන්නා ලද තීරණාත්මක මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව සිය සුබ පැතුම් එක් කළ අතර නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද පවසා ඇත.
IMF වැඩසටහනේ සාර්ථකත්වය රඳා පවතින්නේ පවත්නා පාලනය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ගොඩනැඟීම මත බව අවධාරණය කළ ජනාධිපතිවරයා ජනවරමට අනුව කටයුතු කිරීම තම පරිපාලනයේ වගකීම බව අවධාරණය කළේය.
ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් රජය කැපවිමෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසයි.
තම නායකත්වය යටතේ ළමා දරිද්‍රතාවය සහ මන්දපෝෂණය පිටුදැකීම මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සහයෝගය ලබා දීම අත්‍යවශ්‍ය සුබසාධනයට ප්‍රමුඛත්වය දෙමින්, සමාජ සේවා සඳහා වන ප්‍රතිපාදන ඵලදායී ලෙස භාවිත කරන බවට ද ජනාධිපතිවරයා සහතික වී ඇති බවද සදහන් වේ.
පසුගිය කාලයේ සමාජ සේවා වියදම් සඳහා වූ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙහිදී සඳහන් කොට ඇත.
රට පාලනය කිරීම සහ දූෂණයට එරෙහි වීම යන කරුණු පිළිබඳව මෙහි දී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්වූ බවද පැවසෙයි.
ජනතාව ලබා දුන් ජනවරමේ ප්‍රධාන අංගයක් වන දූෂණයට එරෙහි සටන සඳහා තමන් හා තම රජය කැපවීමෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේය.
එම කටයුතුවල විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාදායක සහ අනෙකුත් ආයතනික ව්‍යුහ වැඩිදියුණු කිරීම සඳහා තම රජය දැඩි නීති රිති ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා IMF කණ්ඩායම හමුවේ ප්‍රකාශ කර ඇත.
මෙම හමුව රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහයෝගීතාවයේ සාධනීය ඉදිරි පියවරකි.
එමඟින් ආර්ථිකය ප්‍රතිසාධනය සහ දිගුකාලීන ස්ථාවරත්වය සඳහා අදාළ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මූලික වටපිටාව සකස් කරගෙන ඇත.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක, කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ සූරියප්පෙරුම සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *