පන්නිපිටිය විද්‍යාල හන්දියේ කාගෙත් ආදරය දිනා සිටි “බ්ලැකී” නම් සුනඛයා මෝටර් රථයක ගැටී මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන්, අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව දෙසැම්බර් මස 9 වන දින දක්වා දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
ඒ, සිද්ධියට අදාළ නඩුව ඊයේ (25) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
කොට්ටාව, විද්‍යාල හන්දියේ ප්‍රදේශවාසීන්ගේ ආදරය සහ රැකවරණය මැද ”බ්ලැකී” වසර 15ක් පමණ එම ප්‍රදේශයේ විසූ බව සඳහන්.
එලෙස ජීවත් වූ ‘බ්ලැකී’ පසුගිය නොවැම්බර් මස 14 වැනිදා අවසන් ගමන් ගොස් තිබුණේ, කාන්තාවක් පැදවූ මෝටර් රථයකට යටවීම හේතුවෙනි.
‘බ්ලැකීගේ’ මරණය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ චෝදනාව වී තිබුණේ, අදාළ කාන්තාව චේතනාන්විතවම මෙම රිය අනතුර සිදුකළ බවටයි.
මේ සම්බන්ධයෙන් සත්ව සුබසාධන සන්ධානය (AWC) වාර්තා කරන ලද්දේ, මෙම සුනඛයාව මරා දමන බවට එකී කාන්තාව මීට පෙර අවස්ථා කිහිපයකදී ම තර්ජනය කර තිබූ බවට ඔවුනට ද තොරතුරු ලැබී තිබූ බවයි.
ඒ අනුව ‘බ්ලැකීගේ’ මරණය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් එක්ව, නොවැම්බර් 16 වැනිදා කොට්ටාව පොලීසියේ පැමිණිල්ලක් ද ගොනුකරන ලදී.
එමෙන්ම ඊට සත්ව සුබසාධන සන්ධානය (AWC) ද මැදිහත්ව මෙම සාපරාධී ක්‍රියාවට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, සැකකාරියට එරෙහිව වහාම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලා නොවැම්බර් 17 වැනිදා කොට්ටාව පොලිස් ස්ථානාධිපතිතුමා වෙත නිල වශයෙන් ලිපියක් ද භාරදී තිබිණ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණ.
එම නඩුව ඊයේ (25) දිනයේ කැඳවූ අවස්ථාවේදී, සැකකාර කාන්තාව දෙසැම්බර් මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් එදිනට නඩුව යළි කැඳවීමටත් නියෝග කරන ලදී.
මෙම සිදුවීම සමාජ මාධ්‍යයේ ද වඩාත් කතාබහට ලක්වූයේ, මෙය මෑත කාලීනව සතෙකුට යුක්තිය ඉටුවූ සුවිශේෂී සිදුවීමක් වූ හෙයිනි.


