වගකිව යුතු ආයතන හරහා නිකුත්වන, සත්‍ය තොරතුරු මත පමණක් පදනම්ව තීන්දු තීරණ ගන්නා ලෙස ඉල්ලා සිටිනවා – අගමැතිනිය

template 31

මේ මොහොතේ අන් සියල්ලටම වඩා තමන්ගේ සහ සමීපතමයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු මුළු දිවයිනේම දැනට පවතින ආපදා මට්ටම සම්බන්ධව අද Zoom තාක්ෂණය හරහා පැවැත්වුණු සාකච්ඡාවක් අමතමින් ‍අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියා.

අන් සියල්ලටම වඩා ජීවිත බේරා ගැනීම රජයේ ප්‍රධාන ඉලක්කය බවත්, ජාතික ආපදාවකට මුහුණ දෙමින් සිටින මේ මොහොතේ සියලු දෙනා ඉතාම සහයෝගයෙන් කටයුතු කිරීම අවශ්‍ය බවත්, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, විපක්ෂ නායකතුමා ඇතුළු පක්ෂ විපක්ෂ නායකයින් සම්බන්ධ කර ගනිමින්, ඊයේ සිට විශේෂ සාකච්ඡා හා රැස්වීම් පවත්වනු ලැබූූ අතර, එම සාකච්ඡා අනුව ජාතික ආපදාවකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ සියලු දෙනාගේ එකඟතාවයෙන් ජනතාව මුදවාගැනීමේ කටයුතු සිදු කරමින් සිටින බවයි ඇය සඳහන් කළේ.

ආපදා තත්ත්වය පිළිබඳව පළවන තොරතුරු අනුව ක්‍රියාත්මක වීමේදී වගකිව යුතු ආයතන හරහා නිකුත්වන සත්‍ය තොරතුරු මත පමණක් පදනම්ව තීන්දු තීරණ ගැනීම සිදුකරන ලෙසද, සියලු මාධ්‍ය ආයතන මේ මොහොතේ තොරතුරු සන්නිවේදනයේ දී ඉතාමත් වගකීමෙන් කටයුතු කරන ලෙසද අග්‍රාමාත්‍යවරිය ඉල්ලා සිටියා.

සෑම දිස්ත්‍රික්කයකටම අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ සියලුම පහසුකම් ලබාදීමට කටයුතු සූදානම් අර ඇති අතර, හදිසි අවශ්‍යතා සඳහා බිලියන 30 ක මුදලක්ද, ආපදා සහ සහන සේවා කටයුතු සඳහා බිලියන 1.2 මුදලක් ද වෙන් කොට ඇති බවත්, අමතරව අවශ්‍ය නම් තවත් මුදල් වෙන් කිරීමේ කටයුතු සිදු කරන බවයි ඇය ප්‍රකාශ කර සිටියේ.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ, තිඹිරිගාස්යාය, කඩුවෙල කොලොන්නාව , සීතාවක, පාදුක්ක, හෝමාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වැඩි අවදානමට ලක්වෙන ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවද, එම ප්‍රාදේශවල අවදානමට ලක් වූ ස්ථානවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම දැනට මූලිකව සිදුකරමින් සිටින අතර, අනෙකුත් ප්‍රදේශවල මාර්ග සහ ජලය බැසයාමේ ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතු දැනටමත් සිදු කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

එමෙන්ම ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම සිදු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා සිදුකරමින් ඇති බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙම සාකච්ඡාවේ දී වැඩිුදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *