නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වීරපාන කෘෂි තාක්ෂණ උද්‍යානය විවෘත වේ

ගාල්ල වීරපාන කෘෂි තාක්ෂණ හා සංචාරක උද්‍යානය සමාරම්භය කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්

ගාල්ල වීරපාන කෘෂි තාක්ෂණ හා සංචාරක උද්‍යානය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර මහතාගේ හා කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.09.21 දින ආරම්භ කරන කරන ලදී.

දකුණු පළාත ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්‍ර දෙකම එකවර සංවර්ධනය කිරීම සඳහා විශාල විභවයක් සහිත ප්‍රදේශයකි. විවිධ වාණිජ බෝග සඳහා සුදුසු දේශගුණික හා භූගෝලීය පසුබිමක් පළාත සතු වන අතර, සුන්දර වෙරළ තිරයන්, වනාන්තර, ගංගා, ජෛව විවිධත්වයෙන් පොහොසත් පරිසර පද්ධති,ඓතිහාසික හා සංස්කෘතික ස්ථාන ඇතුළු සංචාරක ආකර්ෂණීය ස්ථාන රැසක් ද මෙහි පවතී. එබැවින් කෘෂිකර්මාන්තය හා සංචාරක කර්මාන්තය එකිනෙකට සම්බන්ධ කරමින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව අවස්ථා හඳුනා ගැනීම කාලීන අවශ්‍යතාවයකි. මෙම පසුබිම තුළ දකුණු පළාතේ සංචාරක සංවර්ධනය සඳහා හඳුනාගෙන ඇති Southern Mist Triangle සංචාරක ප්‍රවර්ධන සංකල්පය සමඟ වීරපාන කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය සම්බන්ධ කරමින් සංවර්ධනය කිරීම විශේෂ වැදගත්කමක් ගනී.

සංචාරකයන්ට සාම්ප්‍රදායික සංචාරක ස්ථාන නැරඹීමෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ජීවන රටාව, ග්‍රාමීය පරිසරය, නවීන කෘෂි තාක්ෂණය සහ ස්වභාවික සමීපත් සමඟ සජීවී අත්දැකීමක් ලබා දීමට මෙය අවස්ථාවක් සලසයි. ඒ අනුව වීරපාන උද්‍යානය දකුණු පළාතේ සංචාරක ජාලයට සම්බන්ධ කළ හැකි වැදගත් කෘෂි සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට හැකි වේ.

වීරපාන කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය නවීන කෘෂි තාක්ෂණයන් ප්‍රායෝගිකව ප්‍රදර්ශනය කරන, ගොවීන්ට හා තරුණ පරපුරට පුහුණුව ලබාදෙන, පර්යේෂණ ප්‍රතිඵල ගොවි ප්‍රජාව වෙතගෙන යන සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන කෘෂිකාර්මික ක්‍රම හඳුන්වාදෙන මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියේදී සංවර්ධනය කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට තවලම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් හා මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන අධිකාරියත්, කෘෂිකර්ම අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජී.ජී.වී. ශාමලී මහත්මිය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් අජිතා මානික්‍රම මහත්මිය, අධ්‍යක්ෂ (කෘෂි තාක්ෂණ) තුසිත නන්දන මහතා හා අමාත්‍යාංශ නිලධාරීන්, ගන්නෝරුව ජාතික කෘෂිකාර්මික තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බී. එම්. විජයතුංග මහතා ඇතුලු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිළදාරීන්, වීරපාන කෘෂි තාක්ෂණ හා සංචාරක උද්‍යානයේ නිළධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක් සිටියහ.

මාධ්‍ය ඒකකය
කෘෂිකර් ම හා පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *